කටු මැටි කුස්සිය!!!

සමහර පින්තූර හිත අතීතයට ඇදන් යනව කිව්වොත් 200%ක් කව්රුත් පිළිගන්න ඇත්තක්!
නැහැ, ඇත්තෙන්ම අපේ ගෙදරවත්, අපේ ආච්චම්මගෙ ගෙදරවත් මේ කියන කුස්සියක් තිබ්බේ නෑ. හැබයි මම වාසනාවන්ත උනා ‘වහලේ හිල් වෙලා ඒකෙන් ඉර එළිය පෙරී ගෙන එන, පාන්දරින්ම දුම් කවුළු වලින් කේතලේ හු හඬ ඇහෙන’ කටු මැටි කුස්සියක ඉඳගෙන බත් කන්න! ඇත්තෙන්ම ඒ ගෙදර අපේ නෑදෑ කෙනෙක්ගෙ නොවුණු එක අපරාධයක් කියලා වෙලාවකට මට හිතෙනවා. රත්නපුරේ පිටිගලකන්ද පැත්තේ මේ ලස්සන ගමත්, ගෙදරත් අයිති උනේ ඉස්සර අපේ නැන්දා කෙනෙක්ගෙ ගෙදර බිල් පොත් හදන්න ආව, මං පොඩි කාලේ පස්සෙන්ම වැටිලා හිටිය ජයමිණි කියලා අක්කා කෙනෙකුට. එයාට දැන් ටිකක් වයස ඇති. බබාලත් ගොඩක් ඇති! මම එයාගෙ පස්සෙන් ම වැටිල හිටිය නිසා දෝ, එයා කාලෙකට පස්සෙ ගමේ යනකොට මටත් යන්න කතා කළා ම දැනුන සතුටට වඩා දෙගුණයක් සතුට අදයි මට දැනෙන්නේ! මොකද ඒ අත්දැකීම සල්ලි දීලා වත් ආයේ ගන්න වෙන එකක් නැති නිසා! එතකොට මම ඉන්න ඇත්තේ 4,5 වසරේ, නැත්නම් ඊටත් පොඩි යි. මෙච්චර කාලයක් හිතේ හැංගිලා තිබිලා මතක් වෙන එකම ලොකු දෙයක්!

ඉතිං ඔන්න ගෙදරිනුත් අවසර අරන් ඒ අක්කයි මම යි ගමට යන්න පිටත් උනාට ඒකේ කිසිම රසයක් මට තේරුණේ නැත්තෙ බස් වල යන්න වැඩි කැමැත්තක් තිබ්බේ නැති නිසා වෙන්නත් ඇති.. දීර්ඝ බස් ගමනකින් පස්සෙ අතුරු පාරක් දිගේ හුඟක් දුර පයින් ආවා… එන මඟ දිගටම ලොකු ගඟක් අපේ තනියට අපිත් එක්කම පැත්තකින් ගලාගෙන ගියා…ගමේ හැම කෙනාම අක්කට ආදරේ බව තේරුනේ මගදි හම්බුන හැමෝම අක්කා එක්ක වචනයක් හරි කතා කරලමයි ගියේ… අද කාලේ වගේ නෙමේ 100% අව්‍යාජ මිනිස්සු, හදවතින්ම හිනා උනු! ඔහොම බොරළු පාර දිගේ ඇවිදන් එද්දී පුංචි ඇල පාරක් උඩින් ඒදණ්ඩක්! ඒක තමා ඒ ගමේ ලස්සනම තැන මං හිතන්නේ! එසැණින් ම මගෙ මුලිකම අභිප්‍රාය හිතට ඇතුල් උනා, ආපහු යන්න කලින් ඒ ඇළෙන් නා ගන්න ඕන කියලා.. මගෙ හිත කිව්ව දේ ජයමිණි අක්කට ඇහිලා වගේ එයා කිව්ව ‘අපි හෙට මෙතැනින් නාමු කියලා’.. ඊළඟ විනාඩියෙ ඉඳන් මම හෙට වෙන්නේ කීයටද කියලා කල් ගැන්නා.. ඒදඬු උඩින්, ගුරු පාර, අඩි පාර දිගේ, ගල් පඩි නැග, නැග මහන්සියක් ඇත්තේම නැතුව අන්තිමට අපි ජයමිණි අක්කාගේ ගෙදරට ආවා.. දැන් හිතෙනවා ඒක පොඩ්ඩක් මහන්සි හිතෙන ගමනක් නේද කියලත්.. සිරියාවන්ත පුංචි ගෙයක්! මිදුලේ පැත්තකින් ඝනකාභයක් වගේ ලොකු ගල් ගෙඩියක්.. මට එදාත් හිතුනා ඒක එතැන ට ගේන්න ඇත්තේ කොහොමද දන්නේ නෑ කියලා..! අදත් ඒ විදියටම හිතෙනව… කුස්සිය තිබ්බේ ගෙදරින් වෙනම ටිකක් එහා.. අර මං කිව්ව ‘කටු මැටි කුස්සිය’ ! ?

ටිකක්‌ දවල් උනාම රෙදි ටිකකුත් අරන් ජයමිණි අක්කා ගඟේ යමු කිව්වහම මං දැනන් හිටියේ නෑ ගෙදරින් පොඩ්ඩක් පහලට බැස්ස ගමන් එච්චර ලොකු ගඟක් තියේවි කියලා… ඒ දවස්වල ඒ ගඟ පෙනුණේ හුඟක් පළල, ගැඹූරු, භයානක ගඟක් වගේ…අඩු ගානේ මම දුරට බැස්සෙවත් නෑ. චුටි කෝප්පකින් වක් කරගෙන නෑවා… ගඟ ගැන හුඟක් දන්න අක්ක හොඳට පීන පීන නෑවා…මං ඒ දිහා බලන් හිටියා. මං ගැන පව් හිතුන ජයමිණි අක්කා මගෙ අත අල්ලගෙන පොඩ්ඩක් ගැඹුරට එක්ක ගියපු උත්සාහය අගයන්න මං දෙපාරක් තුන් පාරක් නහය අල්ලගෙන එබිලා ගොඩට ආවා.. මට මතකයි කව්දෝ මාමා කෙනෙක් ගඟ දිගේ පාරුවෙන් ඇවිත් කිතුල් පැණි, කොළ ජාතියි දීලා ගියා.. අපරාදේ මටත් රවුමක් යන්න යි තිබුණේ,මොකද මං අදටත් පාරුවක ගිහින් නැති නිසා! එදා රෑ උනාම යි මං දන්නෙ ජයමිණි අක්කලගෙ ගෙදරට current නෑ කියලා… ලාම්පුවක් පත්තු කරගෙන බත් කෑවා මතකයි… මට ඇඳ දීලා අක්කා නිදාගත්තෙ බිම පැදුරක… මට ඒකට දුක හිතුනා එදාට වඩා අද! පුන පුනා බලා හිටිය ‘හෙට’ දවස උදා උනා… මං නැගිටිනකොට ජයමිණි අක්කාගේ අම්මා මිදුලත් අතු ගාල ඉවරයි.. ‘කටු මැටි කුස්සියෙන්’ දුම් වලාකුළු අහසේ නගිනවා… සුදු පාට කිරි බෝතලේකින් නැවුම් කිරි මට හදල දුන්නත් දිව හුරු පිටි කිරි වලට නිසා ඒ රස මං හරියට වින්දේ නැද්ද මන්දා! චුටි කුස්සියේ අක්කා බරටම වැඩ! කලු පාට මැටි වගේ පිඟානකට මට සුදු බතුයි පොල් සම්බෝලයි දුන්නා… ඒක රසයි… එදාටත් වැඩිය අද ගොඩක්! දවල් වෙනකොට අපි නාන්න අර මඟදි හම්බුන ඇළට ගියා…ලොකුවට වතුර තිබ්බෙ නැති නිසා මමත් හොඳට බැහැල නා ගත්තා.. ඒදණ්ඩක් අපේ ගෙදර ළඟ කොහේවත් තිබ්බේ නැති නිසා දෙතුන් පාරක් ඒක උඩින් එහා මෙහා ගියා.. කව්දෝ ගමේ මාමා කෙනෙක් ගඳ සුදු පාට දෙයක් අරන් ඒදණ්ඩ උඩින් එනකොට මං එයාට ඉඩ දීලා අයින් උනා…පස්සේ දැන ගත්ත ඒ රබර් කිරි කියලා.. එදා දවසත් ගෙවිලා ගියා. මතක විදියට අපි හිටියේ දවස් 2 යි. ආයේ එන්න කියලා ජයමිණි අක්කාගේ අම්මා මාව ගොඩක් සැරයක් ඉම්බා..ඒකට නම් ආදරේ හිතුනා… එදාට වඩා අද! ආයෙත් ආපස්සට ගුරු පාර දිගේ ඇවිල්ල ගොඩක් වෙලා ඉඳලා ඉඳලා ආව බස් එකේත් තවත් බස් එකකත් නැගලා අපි අපේ ගෙදර ආවා. එදායින් ඒ සිද්ධිය ඉවරයි. සියලු මතක හිතින් මතක තියා ගත්තා, ඒ දවස් digital යුගයක් නොවුණු එකට පිං සිද්ද වෙන්න… !

දැන් මං ඉන්නේ කොන්ක්‍රීට් කැළෑවක! ඉඳහිට භෞතික ව හිනාවක් මූණේ අමාරුවෙන් ඇඳෙන, ව්‍යාජ, තරගකාරී, හීනනෝනමාදී මිනිසුන් රැළකට මැදිව… හුදෙකලාව මතකයට නඟන මතකයන් හැරුණාම ගහක් කොළයක්වත් නෑ විඳින්න! හුස්මක්, හුළඟක් පවා අව්‍යාජ සමහර මතක ජීවත් වෙන්න ඊළඟ තත්පරයට පණ පොවනවා.. අද ගෙවන ජීවිතෙන් ක්ෂණයක් නැවැතී හැරී බලන්න ආස හිතෙන සුන්දර ම මතක ගෙන දෙන තෘප්තියේ තරම එදාට වඩා අදටයි වටින්නේ! මෙහි හරයක් නොදකින අය මට වඩා බොහෝ සුඛෝපභෝගී ජීවිත ගෙනියන අය වෙන්න පුළුවන්! ඒත් ඔබ නොවිඳින, මම විඳින සමහර නිමේෂයන් මට ගෙනැත් දෙන්නේ ඔබ දකිනවට වඩා 200% ක ආපසු හැරවිය නොහැකි ආත්ම තෘප්තියක්!!! ඒ ගම හුඟක් වෙනස් වෙලා ඇති, හැබැයි මට දීපු මතකය හැරෙන්න!!!

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Sachini Maduryah Kusumsiri

I'm a teacher trainee and my hobby is writing and reading!

Related post