ආත්මාර්ථය (ඍණ) ආශාවන්!

අද වගෙම තමයි පොඩි කලෙත් මං ටිකක් මෝඩයි..? මේ සිද්දිය වෙනකොට මට අවුරුදු 8,9 ක් වගේ වෙන්න ඇති…

ඉස්සර අපිට තිබ්බා කුඹුරක්. කුඹුරු යායවල් 2ක් මැදින් පාර තිබුනා . පැත්තකින් පොඩි ඇලකුත් ඇල උඩින් පාලමකුත් තිබුනා. අපිට ඒවා තහනම් කලාප! ජීවිතේටවත් ඒකෙන් නාලා නෑ. අපිට අයිති කුඹුර පැත්ත නෙමෙයි, අනිත් පැත්ත කුඹුරට තමා මං ආසම! ඒ කුඹුරේ අයිනේ ලස්සන මල් පිපිලා තිබ්බා. පොඩි කාලෙ විතරක්  නෙමෙයි අදටත් මන් ආසයි ‘මල් කඩන්න’. නෑ නෑ  ඔයා හිතපු දේ නෙමෙයි, ‘ගස් වලින් මල් කඩන්න’.
කඩල විසි කරන්න නෙමෙයි, පූජ කරන්න.?

හැබැයි ඒ අනිත්‍ය ස්වභාවය නුවණින් දකින්න නෙමෙයි. දැන් ඒවා තේරුණාට පොඩි කාලෙ ඒවා තේරුණේ නෑ. මල් වට්ටිය ලස්සන කරගන්න තමයි මල් ඕන උනේ. ඉතිං අර කලින් කිව්ව අපේ කුඹුරට ඉස්සරහින් තිබ්බ අපෙ නොවන කුඹුරෙ කහ පාට ,සුදු පාට මල් ගොඩක් පිපිලා තිබ්බා. ඒත් කවුරුත්  ඒකෙ මල් කඩන්න යනව මං දැකල තිබ්බෙ නෑ.

‘ඉතින් මට මොකෝ, මං පටන් ගත්තම අනිත් අයත් ඒවි. එහෙමයි මට හිතුනෙ! ?

අම්මයි අප්පච්චියි ගෙදර නැති දවසක් බලල මං ගමන දා ගත්තා. තනියම නෙමෙ නංගියි මල්ලියි අත් දෙකට අල්ලගෙන. ඒ දෙන්නා හරි පොඩියි. ඒත් යන් කිව්වහම කොහෙද අහන්නෙ නෑ, මාත් එක්ක එනවා. ?

දිග කොන්ක්‍රීට් බැම්මක් දිගේ නංගියි මල්ලියි පරිස්සමට  අරගෙන මම  ගියා මල් කඩන්න ආසාවෙන්. මල් ගහ උසයි කඩන්නත් අමාරුයි. මල් වට්ටිය පොඩි දෙන්නා අතට දීලා නියරක් උඩින් ඉන්න කියලා මලක් අල්ලගන්න උත්සාහ කළා. ?

ජබොක්!
මල්ලි මඩේ…!?

ඒත් එක්කම කව්දො මාමා කෙනෙක් පාරේ ඉදන් බයිසිකල් එක නවත්තගෙන කෑ ගහන්න ගත්තා,
” අයියො දෙයියනේ ළමයිනේ, පිස්සුද ඔය ළමයිට, ඔහෙ පතල් තියෙනවා එරුනොත් ගොඩට එන්න බෑ. ඉන්නකො මං ඉස්කොලේ මහත්තය (අපෙ අප්පච්චි) එක්ක කියනවා..!”?

මට බය හිතුණා! ☹️
මං මල් වට්ටියත් දාලා නංගියි මල්ලි යි අරගෙන ගෙදර දුවල ආවා. ආයේ කවදාවත් එහෙ ගියෙ නෑ.

හැමෝටම ආශාවන් තියෙනවා. ඒවා ඉශ්ට කරගන්න අනිත් අය යොදා නොගන්න තරමට හොඳයි කියලා මට හිතෙනවා. එදා ඒ මාමා කෑ ගැහුවෙ නැත්නම් මෙලෝ දෙයක් නොතේරෙන මල්ලි නැත්නම් නන්ගි මඩේ එරිල මොනා හරි වෙන්නත් තිබුනා පතල්‍ වලකට වැටිල හරි !

අපි අපෙ හීන/ ආශාවන් ඉෂ්ට කරගන්නම විතරක් ආත්මාර්ථකාමී උනොත් අපි යොදා ගන්නා  අයගෙ හීන වලට අවස්ථාවක් නොදීමෙන් ඇතිවන පශ්චාත්තාපය, තමාගෙ ආශාව ඉටු කර ගත්තාට වඩා පූර්ණ කාලීන කනස්සල්ලක් වේවි.

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Sachini Maduryah Kusumsiri

I'm a teacher trainee and my hobby is writing and reading!

Related post