නන්දනී මට වෙඩි තියපං!

මෙහේ පොල් හිස් සිඹින උස් සුළං
තල් හිසුත් සිඹන බව විහඟුන්ට කියපං
පිච්ච නොපිපුණු හවසක, පිපෙන නියගලා මල්,
සැක නැතිව කෝවිලේ තියපං
නියගලත් මලක් බව දෙවියන්ට කියපං…
‘අ’ යනු ගැළපුණු කප්පරක් නුඹෙ හසුන්
මං ළඟ තවම තියෙනව ද අහපං
යකඩ අළු වුණු භූමියක, කඩදහි කතා කුමට ද ?
නුඹ නාඬ හිටපං…
අපි ගිනි තියපු තැන් වල අපිම අළු වෙනව දැක්කම
” උඹට මොනව ද හිතුණෙ? ” අහපං
රතුම රතු වෙඩි පිරැණු හීනෙක
රතු රෝස පිපෙණු කෙළසක?
නන්දනී තව සුසුම් හෙළපං…
කෝවිලත් පංසලත් පල්ලියත් ගිනි අරං
දැවෙද්දී දැනුණු සිතිවිල්ලක,
නුඹේ ඡායාවවත් තිබුණා ද ? අහපං
දස මාර සේනා සිව් කොණින් මතු වෙද්දි
මැද හිටියෙ නුඹම බව කියපං
නන්දනී නොසෙල් වී හිටපං …
ලෙයම ඉල්ලන බිමට, ස්න්ෙහයේ කඳුළු අරහං
කවි ලියපු මුදු අතට තුවක්කුවෙ බර පටවං
වෙඩි බෙහෙත් ඉව කරද්දී නුඹ අපුළ විඳවන්
නන්දනී පිළිගනිං එපා කීවෙ නෑ මං…!
මාරයින් මතුවෙද්දි මහ පොළොව දෙදරං
ඉසින්නට බැරි වුණා පිරිත් පැන් බිඳුවක්
හළු කෙරූ වරදට ප්‍රේමයේ හදවත්
නන්නදනී මං වැරදි කරුවෙක්…!
ලේ ගළන හදවත තබා පසෙකින්
ප්‍රේමයේ භෂ්මාවශේෂ සමගින්
අපුළ කළ තුවක්කුව කොහෙන් හරි ගෙනැවිත්,
සිනාසී එක් වරම විගසින්…
නන්දනී මට වෙඩි තියපං!