1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය සැබවින්ම අයිතිවාසිකම් ආරක්‍ෂණයට ප්‍රමාණවත් ද?

            “Please, please…… I can’t breathe officer…… They’re gonna kill me…”  

මේ 2020 මැයි 25 දින මිනියාපොලිස් පොලිසිය භාරයේ සිටිය දී ඉතා අමානුෂික අන්දමින් ඝාතනයට ලක් වූ ජෝර්ජ් ෆ්ලොයිඞ් ගේ අවසන් වදන් කිහිපයයි.

මෙම සිදුවීමත් සමග ලොව පුරා මීට එරෙහිව විරෝධතා උත්සන්න වන්නට විය. මිනිසුන් රැසක් එහා මෙහා ගමන් කළ මාර්ගයක මහ දවල් ගෙල සිර කොට මරා දැමුනු ෆ්ලොයිඞ් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ලොව පුරා මානව හිතවාදීහු හඬ නැගූහ. ඒ හා සමගම පුද්ගලයින්ගේ මානව අයිතිවාසිකම්, මූලික අයිතිවාසිකම් තහවුරු කිරීම පිළිබඳව කතිකාවතක් නැවත කරලියට පිවිසියේය. පුද්ගලයින්ගේ මූලික අයිතිවාසිකම් සුරක්‍ෂණයෙහි ඇති වැදගත්භාවය පිළිබඳ නැවත නැවතත් සාකච්ඡාවට බඳුන් විය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ද ක්‍රියාත්මක වන මූලික අයිතිවාසිකම් හා ඒවායෙහි බලපෑම කොතරම් දුරකට සාර්ථක වන්නේ ද යන්න පිළිබඳව අවධානය යොමු කිරීම කාලෝචිත යයි හැඟේ.

ඒ අනුව, සංවිධිත, ශිෂ්ටාචාරවත් සමාජයක් තුළ පුද්ගලයින්ගේ නිදහස සුරක්‍ෂිත කිරීමටත්, අයුතු හා අනවසර බලපෑම් වලින් ඔවුන් ආරක්‍ෂා කිරීමටත් රාජ්‍යයේ ඉහළම අධිකරණය විසින් පිළිගත්, රජය විසින් පනවා ඇති අයිතිවාසිකම් සමූහය මූලික අයිතිවාසිකම් (fundamental rights) ලෙස සරලව හඳුනා ගත හැකිය. රටක උත්තරීතර නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්භාව්‍ය ලෙස පිළිගැනීම සඳහා එහි මූලික අයිතිවාසිකම් ප්‍රකාශනයක් අන්තර්ගත වී තිබීම අනිවාර්ය වේ. මේ අනුව යමින් ශ්‍රී ලංකාව ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III පරිච්ඡේදයේ 10 සිට 17 ව්‍යවස්ථාව දක්වා මූලික අයිතිවාසිකම් ප්‍රකාශනයක් ඇතුලත් කොට තිබේ. ප්‍රකාශනය නිර්මාණයෙදී දී ජාත්‍යන්තර ප්‍රමිතීන් බොහෝමයක් ස්පර්ශ කර තිබුණ ද ගැටලුව මතු වන්නේ මෙමගින් පුද්ගලයින්ගේ මූලික අයිතිවාසිකම් ප්‍රකාශනයක් සුරක්‍ෂණයෙහි ලා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන්නේ ද යන්න ප්‍රශ්නගත කළ විටය.

මූලික වශයෙන් අන් රටවල් හා සන්සන්දනයේ දී ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය අතිශයින් කෙටිය. සියලුම මූලික අයිතිවාසිකම් හා ඊට අදාළ වන සීමා කිරීම් ද ව්‍යවස්ථාවන් 8ක් තුළ දක්වා තිබීම කොතරම් ප්‍රායෝගික ද යන ගැටලුව මෙහිදී මතු වේ. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත් කල එහි 12 ව්‍යවස්ථාවේ සිට 35 ව්‍යවස්ථාව දක්වා ව්‍යවස්ථාවන් 24ක් පුරාවට මූලික අයිතිවාසිකම් පිළිබඳ සඳහන් කර ඇත. එමෙන්ම දකුණු අප්‍රිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ II පරිච්ඡේදයේ 7 සිට 39 දක්වා ව්‍යවස්ථා 33ක් යටතේ මූලික අයිතිවාසිකම් පිළිබඳ දක්වා ඇත. මේ අනුව බලන විට ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් එතරම් පුළුල් පරාසයක නොවිහිදෙන බවත් මෙම සීමා වීම හේතුවෙන් වඩාත් වැදගත් වන අයිතිවාසිකම් මග හැරී ඇති බවටත් සාධාරණ සැකයක් මතු වේ.

විශේෂයෙන් ම එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ (UDHR) 3 සිට 5 දක්වා වන ව්‍යවස්ථාවන්හි සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියෙහි (ICCPR) 7 ව්‍යවස්ථාවෙහි ඇතුලත් වන ජීවත් වීමට ඇති අයිතිය (right to life) ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ඇතුලත් නොවී තිබීම පැහැදිලි දුර්වලතාවයකි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාවේ “කිසිවෙකුත් වධ හිංසා වලට හෝ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුතුය” ලෙස සඳහන් වුව ද ඒ යටතේ ‘සෑම පුද්ගලයෙකුටම ජීවත් වීමට අයිතියක් ඇත’ යනුවෙන් ඍජු ලෙස තහවුරු කර නොතිබීම දෝෂ සහගතය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙම දුර්වලතාවය ශ්‍රී ලංකාවේ නඩු නීතිය හරහා යම් තාක් දුරට ජීවත් වීමේ අයිතිය ව්‍යංගව පිළිගත්ත ද (ශ්‍රියානි සිල්වා එ. ඉද්දමල්ගොඩ) රටේ උත්තරීතර වූ නීතියෙන් ඍජුව තහවුරු කර නොතිබීම විශාල අතපසුවීමකි. මන්ද අන් රටවල් හා සන්සන්දනයේ දී ඉන්දියානු හා දකුණු අප්‍රිකානු නීතියේ ඇති මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයන් සලකා බැලූ විට ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන ව්‍යවස්ථාවේ සහ දකුණු අප්‍රිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 ව්‍යවස්ථාවේ ද ජීවත් වීමට ඇති අයිතිය පිළිබඳ ඍජුව සඳහන් කොට තහවුරු කොට තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවේ 18 (1) (b) වගන්තියේ  “no person shall be deprived of life …”  ලෙස තහවුරු කොට තිබූ මෙම ජීවත් වීමේ අයිතිවාසිකම 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවේ දී මගහැරීමට හේතුව අවිනිශ්චිතය. මන්ද ජීවත් වීමේ අයිතිය තහවුරු නොමැති පසුබිමක අනෙක් අනෙක් කුමන අයිතිවාසිකම තහවුරු වුව ද එය අර්ථ විරහිත බව සාමාන්‍යයෙන් දෘෂ්‍යමාන වන කරුණක් වන බැවිනි.

එමෙන්ම, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් තවත් වැදගත් මූලික අයිතිවාසිකමක් වන පෞද්ගලිකත්වය සඳහා ඇති අයිතිය (right to privacy) පිළිබඳව ද ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් ප්‍රකාශනයේ ඇතුලත් කර නොමැත. පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වයට තර්ජනයක් වන රාජ්‍ය හා පෞද්ගලික ක්‍රියා වැළැක්වීම සඳහා සම්පාදනය කොට ඇති මෙම අයිතිවාසිකම රාජ්‍යයන් 150 කට අධික ප්‍රමාණයක් තම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්හි දක්වා ඇත. නිදසුනක් ලෙස දකුණු අප්‍රිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 ව්‍යවස්ථාවේ පෞද්ගලිකත්වය පිළිබඳ අයිතිය,

         14. Privacy

            Everyone has the right to privacy, which includes the right not to have

  1. their person or home searched;
  2. their property searched;
  3. their possession seized; or
  4. the privacy of their communications infringed.

යනුවෙන් දක්වා ඇත.

එසේම ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද මෙය නවතම අයිතිවාසිකමක් ලෙස සහතික කරන ලදී. එමගින් ජනතාවගේ පෞද්ගලික දත්ත හා පෞද්ගලික ආරක්‍ෂාව පිළිබඳ සහතික කර ඇත. විශේෂයෙන්ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියෙහි (ICCPR) 17  ව්‍යවස්ථාවේ ද දක්වා ඇති මෙය අහිමි කළ නොහැකි අයිතිවාසිකමක් ලෙස 2013 දී ආරම්භ කළ ගෝලීය නිරීක්‍ෂණ හෙළිදරව් කිරීම් (Global Surveillance Disclosures) මගින් ජාත්‍යන්තර විවාදයට ද බඳුන් කර තිබේ. මෙවන් තත්වයක් මත පෞද්ගලිකත්වය සඳහා ඇති අයිතිවාසිකම ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකමක් ලෙස දක්වා නොතිබීම සැලකිය යුතු දුර්වලතාවයකි.

එපමණක් නොව, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළම මූලික විය යුතු ලෙස පිළිගත් අයිතිවාසිකම් අනෙකුත් සෙසු නීති තත්වයන් හා ගැටීමට සැලැස්වීම ද කැපී පෙනෙන ගැටලුවකි. මේ හේතුවෙන් ද පුද්ගලයින්ගේ අයිතිවාසිකම් දෙවන තැනට වැටීමේ තත්වයක් මෙරට උද්ගත වී තිබේ. මූලික වශයෙන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 ව්‍යවස්ථාවේ ඇතුලත් සර්ව සාධාරණත්වය පිළිබඳ අයිතිය මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේම ඇතුලත් 16 ව්‍යවස්ථාව මගින් යටපත් වන පැහැදිලිව දක්නට ලැබේ. එනම්, 16 (1) ව්‍යවස්ථාව අනුව “පවත්නා ලිඛිත හා ලිඛිත නොවූ නීති හේතුවෙන් මෙම පරිච්ඡේදයේ විධි විධාන වලට අනුකූල නොවුව ද එකී සියලු පවත්නා ලිඛිත හා ලිඛිත නොවූ නීති බලාත්මක වේ”. මේ නිසා වඩාත් පිළිගැනීමට ලක් විය යුත්තේ රටේ මූලික නීතිය ද නැතහොත් සෙසු නීතීන් ද යන්න ප්‍රශ්නකාරී වේ. නිදසුනක් ලෙස ගවුස් එ.ගවුස්  තීරණයේ දී මුස්ලිම් නීතිය තුළ දරුවන් දරුකමට හදා ගැනීම පිළි නොගැනීම නිසා එම යුවලගේ හදා ගත් දරුවාට සිය උරුම අයිතිවාසිකම් සියල්ල අහිමි විය. නමුත් සාමාන්‍ය නීතිය අනුව (1941 අංක 24 දරන දරුකමට හදා ගැනීමේ ආඥා පනතේ 6 (1) වගන්තිය අනුව) සුජාත දරුවෙකුට හිමි අයිතිවාසිකම් සියල්ල හදාගත් දරුවාට ද හිමි විය යුතුය. එමෙන්ම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (2) ව්‍යවස්ථාව අනුව “කිසිදු පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් සථානය යනාදිය මත වෙනස්කමකට හෝ විශේෂයකට ගක් නොකළ යුතුය”. නමුත් මෙහිදී ආගම යන සාධකය පදනම්ව 16 ව්‍යවස්ථාව මගින් 12 ව්‍යවස්ථාව යටපත් කොට දමන ලදී. එනම් එහිදී පැහැදිලි ලෙසම දරුවා වෙනස්කමකට ලක් විය.

මෙය සැබවින්ම යහපත් තත්වයක් නොවේ. මන්ද ආණ්ඩුකම ව්‍යවස්ථාව මගින් සහතික කළ අයිතිවාසිකම් රටේ සාමාන්‍ය ලිඛිත හා ලිඛිත නොවූ නීති මගින් යටපත් කිරීම අහිතකර තත්වයකි. ලිඛිත හා ලිඛිත නොවූ සෑම නීතීන් යනුවෙන් ගත් කල එය ඉතා පුළුල් පරාසයක් තුළ ව්‍යාප්ත වන අතර කලක් තිස්සේ සම්ප්‍රදායන් ලෙස පැවත පසුව නීති බවට පත් වූ අන්තවාදී තත්වයන් හමුවේ වුවද මූලික අයිතිවාසිකම් යටපත් වීමක් මේ යටතේ උද්ගත වීම නොවැළැක්විය හැකිය. එම නිසා රටේ විශේෂ නීතීන් හමුවේ යටපත් වන මූලික අයිතිවාසිකම් ප්‍රකාශනයක් හුදු ව්‍යවස්ථාමය සැරසිල්ලක් පමණක් වීමේ අවධානමක් ද මෙහිදී උද්ගත වේ. ඒ අනුව රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්‍ෂණයෙහි ලා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු නොකර හිඩැස් සහ ගැටුම්කාරී තත්වයන් මතු කරයි නම් ඒවා හැකි ඉක්මනින් සංශෝධනයට ලක් කළ යුතුය. එවිට පවතින තත්වයට වඩා වඩාත් යහපත් තත්වයක් පුද්ගල අයිතිවාසිකම් සම්බන්ධයෙන් උදා වනු ඇත.

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yashwickramanayake

Related post