අවාරේ

වැපිරූ ගොයම නෙළා ගන්නට බැරිව ඇති

නොසිතූ කාලෙක වස් දහසක් සේය වැදී

අකලට වැනසී ගොයමට පණ දෙන්ට නොහී

මග දුටු කලෙක නුඹේ සිනහව සිතට ඇති

අරලිය කිනිත්තක් වේ අත්තක පහළ

පිපිලා සුදට පුදසුන වෙත යන ගාන

කොහොම යමුද පුන් පෝයක් ඇති ලෙසට

අමාවකයි අද පුන්සඳ නැති ගාන

සයුරට බැසිමි වාරකනක් මග ඇරලා

රුවලක් දැම්මෙ සුළං හමන දෙස බලලා

නැවක් වුණෙමි තව වෙරළක් යන සොයලා

යන මග දුටිමි දිවයින දියබත් වීලා

මලක් වුනෙමි පිපිලා හිනැහෙන යසට

සුවඳ දුනිමි වෙන සුවඳැති මල් සේම

පෙරුම් පිරුවෙ හිරු එළියට පිබිදෙන්න

කිම කඩුපුලක් උනේ හිනැහෙන සඳ ඇති රෑක

පාර දිගේ වැලිකැට මත පිය මැන්න

රේල් පීලි වල මරු බිය නොදැනීම

ඇහැල නෙළුම් මානෙල් සිහිවටන වුණ

තිබුනා මටත් අතීතයක් නුඹේ ගාව

සුදු ඔසරිය මල් කිණිත්ත සිහින වුණ

කිරි සිනහාව පිරි අතුපැල සුභ සිහින

කහට උගුර බෙදාගන්නට දුටු සිහින

අද දියවෙලා අතුපැල මහ වැසි වැටී ගාන

අහල පහල මිතු කැළගෙ කරච්චලේ

අහයි මතක නුඹ හා බැඳී ඒ කාලෙ

මොනවා කියන්නද නුඹ මා හැරගිය තාලේ

පත්තිනි මෑණි නුඹ රැකදෙයි දිවා රැයෙ

වැපිරූ ගොයම වැපිරූ කන්න අවාරේදො

නියඟයකට මහ වැස්සට හසුවීදො

නැත්තං ඇස් වහ කට වස් වැදීදො

එහෙනම් මේ දුකට කවුරුන් වග වේදො

අහිතක් නෑ හිතට දුකක් ඇතිවාට

දොසක් නොපවරමි ඉඳහිට ඇඩුනාට

වරදක් නොතබමි නොකර ගනිමි හිත නැගී ආවේගයට

නුඹ සිහිවෙන මොහොතේ කවිපොත තියෙයි මට

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Ruvini de Silva

Related post