රාමසාන් රෙගුලාසි කඩ කිරීම

රාමසාන් පදයේ නිරුක්තිය සොයා යාමේ දී නොයෙකුත් පද සාදනයන් හමු වේ. නමුත් මූලය එක ය. ඉස්ලාමයේ දී දෙවියන් හදුනවන එක් වදනක් ලෙස රාමඩාන් (Ramadan) යන අරාබි පදය යොදා ගැනේ. සුන්නි, ෂියා හා සෙයියදි යන සෑම ඉස්ලාම් නිකායික මූලාශ්‍රයකට ම අනුව ලුනාර් (චන්ද්‍ර) මුස්ලිම් දින දර්ශකයේ නව වන මාසය රාමඩාන් මාසයයි. පර්සියන් භාෂාවෙන් අරාබි ‘ඩ’ අකුර ශබ්ද වන්නේ ‘ස/Z’ ලෙස ය. ඒ අනුව පර්සියන් බලපෑම ලැබූ අසර්බයිජානය, ඉරානය, ඉන්දියාව, පාකිස්තානය, තුර්කිය යන රටවල ‘රාමසාන්’ ලෙස භාවිතා කෙරේ. එය බංග්ලාදේශයේ දී ‘රාමජාන්’ වේ.

කෙසේ ශබ්ද උච්ඡාරණය කර ද සියලු මුස්ලිම්වරුන්ගේ රාමසාන් අරමුණ ද එක ය. ඉස්ලාම් ආගමේ ශුද්ධ වූ ග්‍රන්ථය වන කුරාණය අල්ලාහ් දෙවියන් විසින් මොහොමඩ් තුමාට ලබා දුන්නේ විසි හතර වන රාමසාන් මාසයේ අවසන් දින දහයේ එක් ඔත්තේ සංඛ්‍යා දිනක (සමහර මූලාශ්‍ර වල 27දින ලෙස) රාත්‍රියේ බව පවසනු ලැබේ. තවද, ඒබ්‍රහම් ගේ ලියවිල්ල (Scroll of Abraham), දේව නීතිය (Torah), ශුද්ධ වූ යාඥ ගීතිකාවන් (Psalms) සහ Gospel යන අනෙකුත් ශුද්ධ වස්තු හතර ද පිළිවෙලින් පළමු, සයවන, දොළොස්වන හා දහතුන්වන රාමසාන් මාසවල දී ඉස්ලාම්වරුන්ට උරුම වී ඇත. මුස්ලිම්වරුන්ගේ රාමසාන් උපවාසය ඇරඹී ඇත්තේ දෙවන් හිජ්රා වර්ෂයේ හෙවත් ක්‍රිස්තු වර්ෂ 624 දී යැ යි සැලකේ.

සමහර මුස්ලිම් රටවල රාමසාන් උපවාසය කඩකිරීම අපරාධමය වරදක් ලෙස පිළිගනු ලබයි.

මෙම කාල සීමාව තුළ මත්ද්‍රව්‍ය අලෙවිය ඊජිප්තුව තුළ දඩුවම් ලැබිය හැකි වරදකි. මෙහිදී සිහියට නගා ගත යුත්තේ මොහොමඩ් තුමා උපවාසය ආරම්භයට පෙර හා පසු රටඉදි තුනක් සමග පානය කළේ පිරිසිදු ජලය බවයි. එසේම නූතනයේ පෙර භෝජනය (Suhoor) හා පසු භෝජනය (Iftar) යන අවස්ථාද්වයෙහි ප්‍රධාන පානය ලෙස යොදා ගන්නේ ද ජලය යි. සිහිවිකලත්වයට පත් කරවන මද්‍යාපානයෙන් වැළකී ශුද්ධ වූ කුරාණය පරිශීලනය කරමින් අධ්‍යාත්මික දිවියක් ගත කිරීමට මෙම මාසය තුළ දී කියා කළ යුතු ය.

කුවේටයේ දවල් කාලයේ දී ආහාර ගැනීම, පානය හෝ දුම් පානය කුවේට් ඩිනාර් සියය නොඉක්මවන දඩයකට යටත් වීමට හෝ එක් මාසයක් නොඉක්මවන සිර දඩුවමකට හෝ ඉහත දඩුවම් ද්විත්වයට ම යටත් කළ හැකි වරදක් ලෙස ස්ථාපනය කර තිබේ. එපමණක් නොව එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) තුළ ද රාමසාන් සමයේ දී පොදු ස්ථානවල ආහාර ගැනීම හෝ පානය පැය එකසිය පනහ(150) දක්වා සමාජ සේවය කළ යුතු යැයි දඩුවම් නියම කළ අවස්ථා දක්නට ලැබේ.

The Economist සඟරාව පැවසූයේ ලොව අන් කිසිදු රටකට වඩා සෞදි අරාබිය තුළ රාමසාන් උපවාස සමය බරපතල ලෙස සලකන බවයි. ඒ අනුව සිරගත කිරීම, කස පහර දීම සේ ම මුස්ලිම් නොවන විදේශිකයෙකු පොදු ස්ථානයක ආහාර පාන පරිභෝජනය කර අසු වුවහොත් රටින් පිටුවහල් කිරීම දක්වා සෞදි අරාබියානු අධිකරණය කටයුතු කරනු ලබයි.

අල්ලාහ් දෙවියන්ට සමීප වීම උදෙසා ශුද්ධ වූ උපවාසයක සියලු මුස්ලිම්වරු යෙදිය යුතුය. (මෙහිදී බරපතල රෝගාබාධ වලින් පෙළෙන්න, ගැබිනි මවුවරුන් ආදීන් නිදහස් කෙරේ.) එම ප්‍රතිපත්තිය තුළින් තම අධ්‍යාත්මය පිරිසිදු වනවා සේ ම සමාජ කෘත්‍යයක් ද ඉටු කෙරේ. එනම් දුප්පත් ජනතාවට ආහාර ලබා ගැනීමට අවකාශයක් නිර්මාණය වන අතර උපවාසයේ නියැලෙන්නන්ට ආහාරවල වැදගත්කම අවබෝධ කර ගත හැකිය. තුන් වේලෙන් එක් වේලක් හෝ සපයා ගැනීමට දුෂ්කර වන තරමේ පුදගලයන් කොපමණ දෙනෙක් නම් අප සමාජයේ සිටිත් ද? දෛනිකව ලොව පුරාම ආහාර ටොන් මිලියන තිස් තුනක් ඉවත දමද්දී විසි පන්දහසක් පමණ වූ ජනතාව දෛනිකව කුසගින්නෙන් මිය යති. මෙම සමාජ විෂමතාවය අවබෝධ කරගැනීමට කදිම අවකාශයක් රාමසාන් උපවාසයෙන් අපට නිර්මාණය කර දී තිබේ.

මැලේසියාව තුළ හිරු අවරට යාමට පෙර උපවාසය කඩ කළහොත් ආගමික පොලිසිය විසින් අතඩංගුවට ගනු ලබන අතර උපවාස කාලය තුළ හදිසි පරිභෝජනය සදහා ආහාර-පාන හෝ දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීම රින්ගිට් දහස නොඉක්මවන දඩයක් නියම කිරීමට සහ මාස හයක සිර දඩුවමකට යටත් කළ හැකි වරදකි. එසේම එම වරදම නැවත වරක් සිදු කර අසු වුවහොත් දඩුවම දෙගුණ කළ හැකිය.

උතුරු අප්‍රිකානු රාජ්‍යයක් වන ඇල්ජීරියාවේ ද රාමසාන් උපවාසය කඩ කරන අයවලුන්ට දඩ නියම කිරීම සහ සිර දඩුවම් නියම කිරීම සිදු කරනු ලබයි.

ඕනෑම ශිෂ්ට සම්මත ජන සමාජයක් තුළ ඊට අනුරූපී වන ලෙස නිර්මාණය කර ගත් නීති රීති පවතී. පිළගත් සම්මතය පරිදි සමාජයේ සියලු දෙනා එම නීතිවලට අනුකූලව ජීවත් විය යුතුය. එහි අවසාන අරමුණ යහපත් සමාජයක් නිර්මාණය කර ගැනීම සහ එක එක පුද්ගලයාගේ සංවර්ධනය ළගා කර ගැනීම ය. එය භෞතික හා අධ්‍යාත්මික යන දෙඅංශයෙන් ම වූ සංවර්ධනයකි. එම ගමනේ දී දඩුවමින් තොර සකල් ශුද්ධ වූ පැවැත්මක් ළගා කර ගැනීම දුෂ්කර ය. කෙතරම් දාර්ශනික වූ පාලනයක් තුළ වුව ද එය එසේ ම ය. මෙතෙක් ලොව බිහි වූ කුමන ශිෂ්ටාචාරයක වත් දඩුවමෙන් වියුක්ත පාලනයක් හමු නොවේ. ආගමික වේවා නිරාගමික වේවා ඕනෑම අරමුණක් සාධනයේ දී ඊට නොගැළපෙන ප්‍රතිඵල ලැබීම ස්වභාවික ය. එබැවින් මුස්ල්මානුවන්ගේ අතිශයම ශුද්ධ වූ ආගමික කෘත්‍ය වන රාමසාන් සැමරුම හමුවේ ද ඊට් ප්‍රතිපක්ෂ දේ මුලිනුපුටා දැමීමට දඩුවම් යොදා ගැනීම හෙළා නොදැකිය යුතු ය. (නමුත් මෙම රචනයේ දී අමානුෂිකත්වයට ආධාර-අනුබල දීමක් අපි අපේක්ෂා නොකරමු.)

රාමසාන් උපවාස සමයේ දී බොහෝ මුස්ලිම් රාජ්‍යයන් තම රටවල කම්කරු නීති රෙගුලාසි ලිහිල් කරනු ලබයි. එක්සත් අරාබි එමීරයේ දී සේවකයන් දිනකට පැය හයක උපරිම සේවා කාලයක් පමණක් වැඩෙහි යෙදීම ප්‍රමාණවත් වන අතර එය සතියකට පැය තිස් හයකි. කටාර්, ඕමාන්, බහරේන් සහ කුවේට් යන රටවල ද ඊට සමාන නීතිය ම දක්නට හැකිය.

අඩ සඳ බලා ඇරඹි රාමසාන් මාසයේ උපවාසය ඊළඟ චන්ද්‍ර මාසය වන ශ්ව්වාල් (Shawwal) මාසයේ ආරම්භයත් සමග අවසන් කෙරේ. මේ අවසන් දිනය Eid al-Fitr ලෙස ව්‍යවහාර වන අතර එදින මුස්ලිම්වරුන්ගේ සුවිශේෂී ම සැමරුම් දිනය යි. ඊද් සැමරුමෙන් පසුව දුප්පතුන් සමග දුක බෙදා ගැනීම අත් නොහැර, සැමදා දෙවියන් පෙන්වූ අධ්‍යාත්මික මාර්ගයේ සැවොම ගමන් කරයි නම් මේ ලොව ආදරයෙන් හා සාමයෙන් පිරී යනු ඇත.

Eid Mubarak!

සටහන: වජිර ගලිගමුව

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Vajira Galigamuwa

Related post