ජගන් මාතාව සහ ජගත් මවුවරුන්ගේ දිනය

මාතෘත්වයෙන් තොර පැවැත්මක් ද පැවැත්මෙන් තොර ලෝකයක් ද ශූන්‍ය ස්ථානයෙහි ලා සැලකිය යුතු ය. මෙතෙක් කලකට ලොව පහළ වී ඇති කවර දර්ශනවාදයකින් වත් මේ අන්‍යොන්‍ය සම්බන්ධතාව යටපත් කර නැත. මන්ද යත්, බිජුවට නැතිව අස්වැන්නක් නොමැත්තා සේ මාතෘත්වය නැති දුහිතෘත්වයක් නැති බැවිනි. ලෝක ශිෂ්ටාචාරගත මානවයා කලින් කලට මාතෘත්වයට ආරෝපණය කළ වටිනාකම හා සැලකීම නොයෙක් මුහුණුවර ගනු ලැබීය. එහි උච්ඡස්ථානය “මවු දෙවඟන” හෙවත් “ජගන්මාතා” (Mother Goddess) සංකල්පය යි.

* ජගන්මාතා ජනප්‍රවාද සහ අභිචාර විධි

ජගන්මාතා

ලොව ශිෂ්ට යැයි සම්මත වූ සෑම ශිෂ්ටාචාරයකම පාහේ ප්‍රාග් ඓතිහාසික අවධියේ පටන් ම මවු දෙවඟන පිදීමේ මූල බීජ පැවතුණි. රටින් රටට එය හැදින්වූ ආකාරය හා අභිචාර විවිධ වුව ද අවසන් හරය එකක් බව අවබෝධ වේ. මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ ක්‍රමික පරිණාමයත් සමඟ ඇගේ අසීමිත දේවත්වය ප්‍රකට වූ අතර දෙවියන් අතර උච්ඡස්ථානයට පත්ව විශ්ව සංස්කෘතියේ නව මුහුණුවර කීපයක් ඇති කරන ලදී.

මාතෘත්වය දේවයත්වයට නැංවීමේ ආරම්භක ලක්ෂ්‍ය සොයා යාම අසීරු වුව ද සෑම රටකන ජනප්‍රවාදගත සාහිත්‍යයේ එය හමු වේ. පසු කාලයේ නටඹුන් අතර ද ජගන්මාතාව හමු වේ. පුරාණ බැබිලෝනියාවේ දී ඊස්තර් (Isthar) ලෙසින් ද, ෆීනීෂියාවේ දී ඇස්ත්‍රාතේ (Astrate) ලෙසින් ද, ඊජිප්තුවේ දී අයිසිස් (Isis) ලෙසින් ද, භාරතයේ දී ජගන්මාතා සහ ඊස්වරී ලෙසින් ද මවු දෙවඟන අපට හමු වේ. මේ සෑම වදනකම පවතින ශබ්ද සාම්‍යය තුළින් අපට අවබෝධ කරගත හැක්කේ මෙහි පවතින විශ්වීය සංකල්පයයි. බෞද්ධ සාහිත්‍යය තුළ ද ප්‍රකට පොළෝ මහී කාන්තාව බවට පත් වූයේ ද මේ ජගන් මාතාව ම ය.

මනුෂ්‍ය ප්‍රජාවගේ ප්‍රබල ආරක්ෂිකාව ලෙස මවු දෙවඟන ඇඟවීමේ හරය නම් සියල්ලේ උපත ඇය බව ඇඟවීමයි. සශ්‍රීකත්වයේ උල්පත මවයි. ඉපැරණි ජාතීන් මවු දේවියව නොයෙක් ආකාරයෙන් පිදූ අතර මේ සම්බන්ධයෙන් “පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇදුම” නම් ග්‍රන්ථයේ මාර්ටින් වික්‍රමසිංහ ශූරීහු පවසන්නේ පෘථිවියෙහි සශ්‍රීකත්වය වැඩි දියුණු වීමට සේ ම මනුෂ්‍ය වර්ගයාගේ ද අනෙකුත් සත්ත්වයන්ගේ ද සමෘද්ධිමත් වීමට ජගත්හුම වගකිව යුතු බවයි.

ජගන් මාතාව හැදින්වීමට ආප්‍ය, ගංගා, ආර්දේවි, ජනනි ආදී පර්‍යාය නාම රැසක් හරප්පාවෙන් ලැබුණු ජගන්මාතා රූපයක ගර්භයෙන් ඇදෙන පැළෑටියක් තුළින් නිරූපණය කර තිබේ, එසේම ශිවශක්තවාදයට පදනම වූයේ ද මවු දේවියගේ උත්කෘෂ්ටත්වයයි. එහිදී ජගන් මාතාවගේ ශක්ති ස්වරූපය නොවේ නම් ශිවගේ වීර්‍යය (පුරුෂ ශක්තිය) ඵලයක් නොවන බව උද්දීපනය කරයි. ඉපැරණි ග්‍රීසියේ මෙම තත්ත්වය නිරූපණය කළේ කෘෂිකර්මයට සම්බන්ධ ඩයනා හා ඩෙමිටර් යන දේවතාවියන් යුගලය යි. මෙසපොතේමියාවේ නම් ඉෂ්තාර් දෙවඟන වූ අතර භාරතයේ පාර්වතිය විය. දුර්ගා පිදුම ද එහිම විකාශනයකි. ජගන්මාතා පිදුම ලංකාවේ ද පැවති බව ආචාර්ය කේ.බී.ඒ.එඩ්මන්ඩ් මහතා පවසන්නේ, නිකාය සංග්‍රහයේ සඳහන් වන වාජිරියවාදය එය බවයි.

ඊස්තර් (Isthar)

* නඩු කියා දිනා ගත් මවුවරුන්ගේ දිනය

මාතෘත්වයට නූතන පරිභෝජනවාදී දේශපාලන-ආර්ථික රාමුව තුළ හිමි වී ඇති වටිනාකම සිමා සහිත ය. වාණිජ්‍ය ආටෝපයෙන් සැරසිල්ලක් කර වසරේ සෑම දිනක් ම සැමරීම විනා උතුම් මානව ධර්මයන් අනුගමනය කිරීමට නූතන සමාජය නොපෙළඹේ. අප අතර බොහෝ දෙනෙක් එලෙස නිශ්චිත දින සැමරීමේ අර්ථය හෝ ඉතිහාසයවත් නොදැන පුහු සමාජ මොඩියුලයක තවත් එක් පාරිභෝහිකයෙක් පමණක් බවට පත් වේ. මේ සියල්ලෙහි අවසානාර්ථය නොවේ ද; අද අප අත් විදින්නේ? සොබාදහම හැර දමා හැල්මේ දිව යන විශ්ව ගම්මානයේ ආඩම්බර සාමාජිකයා ඇගයුම් හදුනන දිනක් උදා කරගන්නා තෙක් මේ ප්‍රයත්නයන් එලෙස ම විය යුතුය. මන්දයත්, “මවුවරුන්ගේ දිනය” ලෙස වෙන් වූ දිනයක් දිනා ගැනීමට (ඇමරිකා එක්සත් ජනපදය තුළ උත්කර්ෂවත් ජාතික නිවාඩු දිනයක් ලෙස) පුරුෂ මූලික දේශපාලන රාමුව තුළ අන්නා ජාර්විස් (Anna Jarvis) ගෙන ගිය අරගලය ඊට මනා නිදසුනක් වන බැවිනි. ඒ පිළිබඳ 1944 දී එක් පුවත්පතක් ප්‍රකාශ කළේ ඒ වන විට මවුවරුන්ගේ දිනය නමින් වූ නොවිසඳුණු නඩු තිස් තුනක්(33) අධිකරණයේ විභාග වෙමින් පැවති බවයි. ඇගේ අරගල වල අභිප්‍රාය වූ යේ සකල මවුවරුන්ගේ අසීමිත කැප කිරීම වෙනුවෙන් හුදු වාණිජ්‍යමය පරමාර්ථයන් ගෙන් වියුක්ත වූ වෛරය,පළිගැනීම වෙනුවට ආදරය තේමා කරගත් විවේකී සැමරීමක් උදා කරලීම ය.

* සුබ මවුවරුන්ගේ දිනයක් වේවා

මෙලෙස දිව්‍යමය වූ ලෝක ආත්මය විචාරාත්මකව දැක්වීම කිසිසේත්ම මෙම රචනයේ අරමුණ නොවන අතර ඓතිහාසිකව එසේ සංකල්පයක් ඉස්මතු වූයේ මානව චිත්ත සන්තානගත් නැඹුරුවක් නිසා බව අවබෝධ කරගැනීමට අපි ප්‍රයත්න දරමු. එහිදී පවතින සමාජ ක්‍රමය විවේචනය කිරීමට හෝ අප බලාපොරොත්තු නොවන අතර එකම පැතුම මානව ගුණ ධර්ම ගුරු කොට ගත් සමාජයක් බිහි වීමය. දරුවන් වෙනුවෙන් දිවිය දිය කළ සියලු ජගන්මාතාවන්ට මෙය උපහාරයක් ම වේවා.

සටහන:
වජිර ගලිගමු

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Vajira Galigamuwa

Related post