අභිසාරිකා…. (ලොව පැරණිම වෘත්තිය පිළිබඳ සටහනකි)

එකළ සිරිතක් පැවතුනි. යම් පුරවරයකට එක්තරා කාන්තාවක් අභිසාරිකාවක්, නො එසේ නම් ගණිකාවක් ලෙස පත් කෙරුණි. මෙය තනතුරක් වූ අතර, ඔවුන් හැඳින්වූයේ “නගර සෝබනියන්” ලෙසය. පුරයට අයිති අඟන යන අර්ථයෙන් “පුරඟන” ලෙසද ඔවුන්ට ව්‍යවහාර විය.

මට මතක් වනුයේ සැළලිහිණි සන්දේශය යි.

?️?️?️?️

“️සිසි වන වුවන ඉඟ සුඟ ගත හැක මිටින..
නිසි පුලුළුකුල රියසක යුරු තිසර තන…
දිසි රණ ලියෙව් රූ සිරි යුත් මෙ පුරඟන…
ඇසිපිය හෙලන පමණින් නොවෙති දෙවඟන…”

?️?️?️?️

මෙසේ පුරඟනක්, එසේත් නැතිනම් නගර සෝබනියක් ලෙස පත්වීමට, ගැහැනු ළමයකු පංච කල්‍යාණියෙන් යුක්ත විය යුතුව තිබුණි. ඒ පංච කල්‍යාණිය නම් මෙසේය…

▶️හිසකෙස් : දෙපතුල දක්වා දික් විය යුතුය
▶️මාංශ : ප්‍රියජනක, පිරිපුන් විය යුතුය
▶️දත් : සමව පිහිටිය යුතුය
▶️සම : පැහැපත් විය යුතුය
▶️වයස : බැලූ බැල්මට නොපෙනෙන තැනැත්තියක් විය යුතුය

මෙකී අංග සපුරන තැනැත්තිය, පුරඟන බවට පත් වේ. ඇය සමග ගනුදෙනු කිරීමට ඉතා අධික මුදලක් එකළ වැය වූ බව පොත්පත් පවසයි. මෙසේ පත් වූ, පුරඟන, පුද්ගලයන් 8 දෙනෙකු සමග කිසිදු විටෙක සම්බන්ධකම් නොපැවිත්විය යුතු ය. එය රීතියකි. එම පුද්ගලයන් අට දෙනා නම්,

▶️ක්ෂය රෝගියා
▶️කුෂ්ඨ රොගියා
▶️උකුණන් වැනි සතුන් ශරීරගත තැනැත්තා (අපිරිසිදු මිනිසුන් මෙයින් අදහස් කරන්නට ඇත)
▶️කටගඳැත්තා
▶️කඨොර වචන භාෂිත කරන්නා
▶️මසුරා
▶️කෛරාටිකයා
▶️නිර්ලජ්ජිතයා

පුරඟනක් කිසිදා තම සේවාදායකයාට ස්නේහ නොදැක්විය යුතු බවටත්, හුදෙක් සේවය පමණක් සැපයිය යුතු බවටත්, කාම සූත්‍රය ලියූ ව්‍යත්සාන (Wyathsana) පවසයි. පුරාණ අෂ්ඨාංග ආයුර්වේදය තුළ සඳහන් වනවා යැයි පවසන අන්දමට පුරඟනක්/ ගණිකාවක් විසින් දුන් දෙයක් පිළිගත නොයුතු බවට ද මතයක් ඇත.

“වෛශ්‍යාව හෙවත් වෙසඟන” යනු ද තවත් නමකි. එම වදනෙහි ප්‍රභවය මෙසේය. 6 වන හා 7 වන ශතවර්ෂවල, උතුරු ඉන්දියාවේ “දේවදාසීන්” (Devdas) යන නමින් හැඳින් වූ පිරිසක් සිට ඇත. එකළ පැවති දේවාල වලට සේවය සඳහා කුඩා කළ සිටම යම් යම් ගැහැනු ළමයින් අනුයුක්ත කර ගැනීම, නොඑසේ නම් “දෙවියන්ට කැප කිරීම” එකළ චාරිත්‍රයකි. එසේ “කැප කළ” ගැහැනු ළමුන් වැඩ්විය පත්වූ පසු, ගණිකා වෘත්තියේ යෙදෙමින්, දේවාලය ට මුදල් ලබා දීම ඔවුන්ගේ එක් කාර්යභාරයකි. එපමණකුදු නොව, එහි යම් උත්සව අවස්ථාවන් වලදී නර්තනයේ යෙදීමට ද මොවුන් ට සිදු වුණි. එසේ ඔවුන් නර්තනයේ යෙදෙනුයේ “වෙස්” බැඳගෙනය. (මෙහි සඳහන් “වෙස්” යනු වේල් පටක් විය හැකිය). එසේ වෙස් බැඳ නටන අඟන,

වෙස් + අඟන = වෙසඟන

වූ බවට මතයකි. මෙය එක්තරා මතයක් පමණක් වන අතර මෙයට වෙනස් මත ද විය හැක.

ගණිකා වෘත්තීය සමග බැඳි සාහිත්‍යක් ද ඇත. පහත දැක්වෙන්නේ එවන් ශෘංගාරාත්මක ඉල්ලීමකි

?️?️?️?️

“අවර ගිරේ ගිරි අවරේ ගිරවුන් ට…
මදනා සැරේ රොන් ගෙන යන බඹරුන් ට…
ගති අවරේ ඉර මුදුනෙන් පායන් ට…
වර ටිකිරෝ රති සමුදුර පීනන් ට…”

………………………….

ගණිකා වෘත්තීය විටෙක මවගෙන් දියණියට උරුම වේ. එය ඉතා අවාසනාවන්ත සිදුවීමකි. මේ සම්බන්ධවද ලියවුනු පද මාලා සාහිත්‍යයෙන් අපට සොයා ගත හැකිය. පහත කවිය මව විසින් දියණියට තමා පිළිබඳ වර්ණනා කරමින් කියන ලද්දකි.

“මමත් දුවේ එක දීගෙක නූන්නෙමී…
සැටක් පිරෙන තුරු දුටුවන් වැළැන්දෙමී…
නුඹලා වගේ අඩුපාඩුත් නොම කළෙමී…
එකදා රැයට තුන්සිය හැටකට උනිමී…”

දුව පරදින්නට කැමති නැත. ඇය මෙසේ පිළිතුරු දෙයි.

“චී චී අම්මෙ මට නොකියන් ඔවැනි කතා…
බාලේ ඉඳන් දෑලේ දෙන්න තොර නැතා…
ගාලේ හරක් මෙන් අළුයම නැගිට ගත ගතා…
කනුන් කොරුන් හැර තුන්සිය හැටක් ගතා…”

?️?️?️?️

අද කෙසේ වෙත ද, එකළ යම් කාලයක, ගණිකාවක් දැකීම සුබ මුහුර්තයක් ලෙස සැලකූ බව සාහිත්‍යය පිරික්සීමේ දී ප්‍රත්‍යක්ෂ වේ.

“වෙසඟන මිහිදා සක් සත් පෙර මගැ පැවැතී…
ලස නොවැ දකින් සකි දැකි මේ සුබ නිමිතී…”

යනු එයට උදාහරණයකි.

…………………………..

වර්තමානයේ ගණිකාවන් වර්ග 3 කට කොටස් කරනු ලබන අතර ඒවා නම් 1.) Call Prostitutes – ඉහළ පැලැන්තිය, 2.) Brothel Prostitutes – ගණිකා නිවාස ආශ්‍රිත හා 3.) Street Prostitutes – වීදි ගණිකාවන් වේ. වීදි ගණිකාවන් යනු මෙහි පහළම ස්ථරය වන අතර, මහාචාර්ය නන්දසේන රත්නපාලයන්ගේ පර්යේෂණ අනුව වීදි ගණිකාවන් හා සබැඳි වෙනම උප සංස්කෘතියක් ද ඇත. ඒ සංස්කෘතිය හා බැඳුනු, ඔවුන්ටම ආවේණික වූ යම් යම් වදන්/වචන පිළිබඳ ඔහු සඳහන් කරයි. වංගෙඩි බද්ද, ඇඳ බද්ද, ගෝත (වියපත් ගණිකාව), තෙල් (නවක) යනු එයින් සමහරකි.

ගණිකා වෘත්තීය අප රටේ තහනම්ය. යම් ගැහැනු ළමයකු එවන් වෘත්තියක යෙදවීම වරදකි.මා එකළ කියවූ පොතක මෙසේ සටහන්ව තිබුනි.

“ගණිකා වෘත්තිය සඳහා දිවයින තුළ හෝ පිටත, ගණිකා නිවසක විසීම හෝ ගැවසීම සඳහා යම් ගැහැනු ළමයෙකු හෝ ස්ත්‍රියක ලවා දිවයිනේ තමාගේ පුරුදු වාසස්ථානය අතහැරවීමට පිළියෙල කරතහොත් ඔහු වරදකරුවකු විය යුතු අතර අවු. දෙකකට නොවැඩි කාලයක බන්ධනාගාර ගතකිරීමකට යටත් විය යුතුය”

[ලංකා දණ්ඩ නීති සංග්‍රහය 1993, 15 අධිකාරිය]

(මෙහි වෙනස්කම් සිදුවී ඇත්දැ’යි කීමට අ⁣ප දැනුම ප්‍රමාණවත් නැත)

බොහෝ ගැහැනුන් මෙම වෘත්තීය ට පැමිණෙනුයේ ස්වකැමැත්තෙන් නොව, මිනිස් ජාවාරම්, බිය ගැන්වීම්, ආර්ථික දුෂ්කරතා, දූෂණය වීම් ආදී කරුණු මුල්කොට ගෙනය. එය ඉතා කණගාටුදායක ය.

මන්ද යත්, ප්‍රේමකීර්ති කියන ආදරයේ උල්පත ද ගැහැනියකි. ගෙදර බුදුන් ද ගැහැනිය කි. ගෞතම බුදුන් පසුගමන් කළ උන්වහන්සේගේ ගිහි කළ සුලු මව, මහා ප්‍රජාපතී ගෝතමී රහත් තෙරණින් වහන්සේ ද ගැහැනියකි. දින දෙසිය අසූවක කාලයක් ගර්භාෂයක දරා, විලි රුදාවක් විඳ, ජීවයක් බිහිකරන්නේ ද ගැහැනියකි. මැක්සිම් ගෝර්කි ඔහුගේ ලෝක ප්‍රකට “අම්මා” කතාවේ කියන අන්දමට ලොව සියලු සුන්දර දෑ බිහිවන්නේ හිරුගේ එළියෙන් හා මව⁣ගේ කිරි වලිනි…

එසේ බලන කළ මව් පදවිය ලැබීමට පින් ඇති ගැහැනිය, ලොව පැරණිම වෘත්තියට උරුමකම් කීමට තරම් පව් කර අැත.

අධිනීතිඥ රංබණ්ඩා සෙනෙවිරත්නය්නගේ වචන කීපයකින් මෙම ලිපිය අවසන් කරමි.

“පිරිමින්ගේ පාප කඳට දෝස විඳින ලඳුනේ..
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ…”

– විහඟ පටබැඳි –

මූලාශ්‍ර : මහාචාර්ය නන්දසේන රත්නපාලයන්ගේ පර්යේෂණ

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Vihanga Pasan Patabendi

Related post

If you have a Facebook account, please use the space above to reply. If not, leave a reply here: