Save free education

දැඩි හිරු රශ්මිය නොතකමින්, ගෙවී යන නිසා පාසැලට දමන බාටා දෙක අතින් රැගෙන අවුරුදු 13ක පමණ කුඩා පිරිමි දරුවෙක් පාසැල් නිම වී නිවස බලා පිටත් වූයේ සිනහ මුසු මුහුණකිනි. ඔහු නමින් කමල් ය. මධ්‍යහ්නේ පාසැලේ සිට නිවස කරා යන ගමන කෙතරම් දුෂ්කර වුවද එය පසෙකලා සතුටින් පිටින් වුයේ එදින විශේෂ දිනයක් බැවිනි. වාර විභාගයේ ලකුණු දෙන දිනය වූ එදා ඔහුගේ ප්‍රියතම දිනයයි. පාසැලේ දක්ෂතම සිසුවෙක් ලෙස ඔහු මේ වන විටත් ප්‍රසිද්ධය. මෙවරද පන්තියේ ප්‍රථමයා වීම, ඔහුගේ මාපියන්ට කීමට ඇති දැඩි ආශාව නිසා කබලක් මෙන් රත් වූ පොලොව මතින් වේගයෙන් ගමන් කරන්නට විය.
කමල් ජීවත් වූයේ රටේ අගනගරයට බොහෝ ඈතින් පිහිටි ගම්මානයක. ඔහුගේ පියා කුලී වැඩ කරමින් තම පවුල ජීවත් විය හැකි මට්ටමක පවත්වාගෙන ගියද දැන් එය අහවරය. මන්ද ඔහු හෘදයාබාධයක් වැලදී ඔත්පල වී සිටින නිසා ය. කමල් ගේ පවුලේ බර මව වෙත පැටවුනේ එදින ඉදන්ය. ඇයටද වැඩ කර හැකි සීමාවක් ඇත, එය එදිනෙදා කෑම වේල සපුරා ගැනීමට ප්‍රමාණවත් නොවන අවස්ථා බොහෝය. කමල් පවුලේ වැඩිමලාය. ඔහුට 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාල සහෝදරියක් සිටී. ඔවුන්ගේ නිවස කටු මැටි බිත්ති සහ පොල් අතු වලින් නිමවූවකි.
නිවස කරා ලගා වුනු ඔහු නිවෙස තුලට දිව ගියේ “අම්මේ අම්මේ මම මේ පාරත් පන්තියේ පළවෙනියා” කියමින් ය. “පුතේ උඹ හොදට ඉගෙන ගෙන දොස්‌තර කෙනෙක් වෙලා අපිව මේ දුකින් ගලවගන්න” මවගේ පිලිතුර විය.
කාලයේ ඇවෑමත් සමග ඔහු අ.පො.ස සා.පෙ. විභාගය දිස්ත්‍රික් කුසලතා ඇතිව සමත් විය. නමුත් ඔහුව ප්‍රධාන පාසලකට යැවීමට තරම් හැකියාවක් ඔහුගේ මවට නොතිබුනි. ඒ ඔවුන් එතරම් දුෂ්කර ජීවිතයක් ගත කරන බැවිනි. අ.පො.ස උ.පෙ විභාගයට පෙනී සිටි ඔහු ජීව විද්‍යා අංශයෙන් දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස සමත් විය. මේ කාලය තුල අධ්‍යාපනය නවතා තම පවුල වෙනුවෙන් රැකියාවක් කිරීමට ඔහු සූදානම් වූ අවස්ථා බොහෝ ය. කමල් ගේ මවගේ උත්සාහය මෙසේ ඵල දැරූ බව කිව හැකිය.
දිස්ත්‍රික් ප්‍රථමයා වීම නිසා දෝ කමල් ගේ පවුල ට ආධාර උපකාර ලැබුනි. විශ්ව විද්‍යාල ආරම්භ වන තෙක් රැකියාවක් කර අතර ඔහු තම නැගණියට අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය සහාය ලබා දීමට කිසි විටෙකත් අමතක නොකළේය.
විශ්ව විද්‍යාලය අරඹන දිනය පැමිනෙන්නේ මේ අතර තුර දීය. එදින දෙමාපියන් සමග පැමිණෙන ලෙස තිබුණද කමල් ගේ මවට නිවෙස තනි කර පැමිණීමට හැකියාවක් නොතිබූනි. රටේ ප්‍රධාන වෛද්‍ය විද්‍යාලයකට තේරි පත් ව සිටි ඔහු පලමු දින ගියේ දහසක් සිතුවිලි හිතේ දරාගෙන ය. ඉංග්‍රීසි භාෂාව නුහුරු වූ ඔහු ට එය ප්‍රගුණ කිරීමට වැඩිපුර මහන්සි වීමට සිදුවිය. නමුත් පලමු වසර අවසන් වන විට ඔහු හොද මට්ටමකට පැමිණිය.
ඔහු විශ්ව විද්‍යාලයට පැමිණි මුල් දින සිටම ආචාර්යවරුන් අඩු යැයි හැගුන ද වෛද්‍ය විද්‍යාල වල එසේ යැයි සිතා ගත්තේය. නමුත් එය එසේ නොවන බවත් හතු පිපෙනවා මෙන් ආරම්භ වන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මගින් ඉතා විශාල මුදල් වලට ආචාර්යවරුන් බිලී බාගන්න බවත් ඔහු ට දැන ගැනීමට හැකි විය. ඒ පිළිබඳව කරන්නට දෙයක් ද නැත. මන්ද ඒ කාලය වන විට මෙම ගැටලුව මුල් බැස හමාරය.
කමල් දෙවන වසරට පැමිණි විට විෂයක් ඉගැන්වීමට කිසිවෙකු නොවීය. මේ සදහා ආධාර ගැනීමට වෛද්‍ය සභාවට යා හැකි බව කමල් ට සිතුනි. නමුත් ඔහු නොදැන සිටියාට ඒ වන විට වෛද්‍ය සභාවක් ද නැත. ඒ වෙනුවට ඇත්තේ වෛද්‍ය වෘත්තියට කිසිසේත්ම සම්බන්ධයක් නොමැති පිරිසක ගෙන් යුතු මණ්ඩලයකි. ඔවුන්ගේ අවධානය පෞද්ගලික අංශය වෙත පමණි. අවසානයේ දී මෙයට විසදුමක් සොයන තෙක් විශ්ව විද්‍යාලය වසා දැමීමට රජය තීරණය කලේය. කර කියා ගැනීමට කිසිවක් නොමැතිව කමල් ඇතුළු වෛද්‍ය සිසුන් තම නිවෙස් බලා ගියහ.
නිවසට යාමට දුම්රියට නැගුණු කමල් ගේ නෙතට කදුලු ආවේ තම පවුල සැපවත් ජීවිතයක් ගත කිරීමට ඔහු මැවූ සිහින බොද වී යන බව දැනුනු නිසා ය. කුඩා කල දී ජීවිතයත් මරණයත් අතර සටන් වැදුණු කමල් සහ ඔහුගේ දෙමාපියන්ට වෛද්‍ය අධ්‍යාපනයට සිදු වෙමින් තිබූ වින්නැහිය ගැන අවබෝධයක් නොවීය. ඔවුන්ට අවශ්‍ය වූයේ තම දරුවන් හොඳින් ඉගෙන ගන්නවා දකින්නටය. නිවෙස වෙත ගිය කමල් හැඬූ කදුලින්ම තම මවට කතාව පහදා දිය. මෙය දරා ගැනීමට නොහැකිව මව ද රෝගාතුර විය. රජයේ රෝහලකට තම මව ව රැගෙන ගිය කමල් ට වැටහුනේ එහි වෛද්‍යවරුන් අඩු දැනුමකින් යුත් බවයි. වසර දෙකකට ආසන්න කාලයක් රජයේ විශ්වවිද්‍යාලය කින් ඉගෙන ගත් කමල් ට එය වැටහුනේ එම වෛද්‍යවරයා වෙද නලාව භාවිතා කල ආකාරයට ය. ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍යම යැයි පැවසූ බැවින් කමල්ට කැමති වීමට සිදු විය.
ශල්‍යකර්මය අවසානයේ මව අසාධ්‍ය වී මරණයටපත් වන්නේ වෛද්‍යවරයා ගේ නොසැලකිල්ල නිසා ය. ධනය බලය නොමැති කමල් හා ඔහුගේ පවුල මේ අවස්ථාවේ අන්ත අසරණ විය. එම වෛද්‍යවරයා රටේ මුල්ම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ කෙනෙක් බව කමල් ට දැන ගත හැකි වූයේ පසුව ය.
දැන් වසර හතරක් ගෙවී ගොස් හමාරය. නිදහස් අධ්‍යාපනය රැක තිබුණා නම් ඔහු වෛද්‍යවරයෙකි. ඔහුගේ මවද ජීවතුන් අතරය. නමුත් අද ඔහු තම මව සහ අධ්‍යාපනය දෙකම නොමැතිව පියා සහ නැගණිය වෙනුවෙන් කුලී වැඩ කරයි.

~Lahiru Jayakody~
……………………………………………………….

මෙවැනි ජීවිත කතාවක් අනාගතයේ දී නොඇසීමට අද අපි සටන් කිරීම කුහක කමක් ද?????

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related post