ෆේස්බුක් පිටු වල අනාගත ඉරණම

untitled-1x

ඔබ නිතර ෆේස්බුක් වෙබ් අඩවිය පාවිච්චි කරන කෙනෙක්නම් මේ පින්තුරේ තියන වගේ පෝස්ට් ඔබට බොහොම හුරුපුරුදු ඇති. “අපේ page එකේ reach එක හොඳටම අඩු වෙලා. මේ පෝස්ට් එක දැක්කොත් ලයික් එකක් කොමෙන්ට් එකක් දාලා පොඩි සහයෝගයක් දෙන්න මචංලා” වගේ දුක හිතෙන පෝස්ට් එකක් සතියකට දෙතුන් වතාවක් නිව්ස් ෆීඩ් එකේ වරදින්නෙම නෑ මේ දවස්වල. පොඩි පොඩි පිටුවල සිට ලයික්ස් ලක්ෂ දෙක තුන තියන පිටු දක්වා මේ තත්ත්වය ඒකාකාරව දකින්න පුළුවන්.

විදෙස් වාර්තා වලට අනුව 2016 ජනවාරි වල සිට ජුලි දක්වා කාලයේදී ෆේස්බුක් පිටුවක පෝස්ට් එකක් දකින මිනිස්සු ගණන 50% කින් විතර අඩු වෙලා මේ ලිපියෙන් කතා කරන්න යන්නේ මෙහෙම වෙන්න හේතු වෙන කාරණා කිහිපයක් සහ ඒවායේ අනාගත බලපෑම් කොහොම වෙයිද කියන එක ගැන.

මොකද්ද මේ රීච්(reach) කියන්නේ?

q

සරලව කිව්වොත් වෙබ් අඩවියක හෝ ෆේස්බුක් පිටුවක තියන පෝස්ට් ජනතාව අතරට යන ප්‍රමාණය. ෆේස්බුක් වෙබ් අඩවියේදී නම් යම්කිසි පෝස්ට් එකක් කීදෙනෙක් දැක්කද කියන එක. මේකේ ආකාර දෙකක් තියනවා. ඒ තමයි paid reach සහ organic reach. Paid reach කියන්නේ යම්කිසි පිටුවකින් ෆේස්බුක් සමාගමට මුදල් ගෙවලා ප්‍රචාරය කරන පෝස්ට්. ඒවාගේ තමයි ඔය යටින් “sponsored” කියලා පොඩියට වැටෙන්නේ. Organic reach කියන්නේ මුදල් නොගෙවා ස්වභාවික විදියට ප්‍රචාරය වීම. අපි කතාකරන ගැටලුව තියෙන්නේ මෙන්න මේ organic reach එකේ. ෆේස්බුක් සමාගම සඳහන් කරන හැටියට ඉදිරි වසර වල දිගටම මේ ස්වභාවික ප්‍රචාරණයේ කඩාවැටීමක් දකින්න පුළුවන් වෙයි.

ඇයි මෙහෙම වෙන්නේ?

මේ සිදුවීමට හේතු කිහිපයක් තියනවා. බොහෝදෙනාගේ මතය තමයි ෆේස්බුක් සමාගම වැඩිපුර මුදල් හොයන්න හිතාමතා මේ වැඩේ කරනවා කියන එක. ඒකත් වෙන්න බැරි නෑ නමුත් මෙත ඉන් එහාට ගියපු තවත් වැදගත් කාරණා කිහිපයක්ම තියනවා.

තදබදය වැඩි වීම

q

ඉස්සර වගේ නෙවෙයි දැන් ෆේස්බුක් ලොකුයි. මිනිස්සු වගේම ෆේස්බුක් පිටුත් වැහි වහැලා. දවසකට ෆොටෝ මිලියන තුන්සීයක් විතර අප්ලෝඩ් වෙනවා, ෆේස්බුක් පිටු මිලියන හැටක් විතර තියනවා. ෆේස්බුක් එකේ උදවියට අනුව අපි ෆේස්බුක් එන ඕනෑම වෙලාවක අපේ නිව්ස්  ෆීඩ් එකට එන්න ඉඩ තියන පෝස්ට් 15000ක් විතර තියෙන්න පුළුවන්. නමුත් ඒවගෙන් බොහොම සුළු ප්‍රමාණයයි අපි ඇත්තටම බලන්නේ. ඉතිං මේ වගේ තත්ත්වයකදී ෆේස්බුක් පිටුවක පෝස්ට් එකක් බොහෝදෙනාට නොපෙනී යන්න ගොඩක් ඉඩ තියනවා.

තරඟකාරීත්වය වැඩි වීම

අපි ෆේස්බුක් ගියාම නිව්ස් ෆීඩ් එක හැතම්මක් විතර දුරට යනකන් බලන්නේ නෑ. අපි යන සීමාවක් තියනවා. ඒ නිසා අපේ නිව්ස් ෆීඩ් එකේ ඉඩකඩ සීමිතයි. මේ සීමිත ඉඩකඩ අතුලට එන්න අපේ යාලුවන්ගේ පෝස්ට්, අපි ෆලෝ කරන වෙනත් අයගේ පෝස්ට්, pages වලින් දාන පෝස්ට් සහ adverts අතර ලොකු තරඟයක් නිර්මාණය වෙලා තියනවා. මේ  තරඟය නිසා එක් පිටුවක පෝස්ට් එකක් නිව්ස් ෆීඩ් එකට එන්න තියන සම්භාවීතාවය අඩු වෙනවා. අපේ ෆේස්බුක් ගිණුමේ යහළුවන් ගණන වැඩිවීම සහ ලංකාවේ ෆේස්බුක් භාවිතය වැඩිවීමත් නිසා මේ තරඟකාරීත්වය කාලයත් සමග තවත් වැඩි වෙයි.

ඇල්ගොරිදම් එක

ඇල්ගොරිදම් එකක් කියන්නේ නිශ්චිත කාර්යයක් කරන්න නිර්මාණය කරපු මෘදුකාංග කොටසක්. ඔබේ නිව්ස් ෆීඩ් එකට එන පෝස්ට් තෝරලා දෙන්නෙත් එහෙම ඇල්ගොරිදම් එකකින්. ෆේස්බුක් නිව්ස් ෆීඩ් ඇල්ගොරිදම් එකෙන් අපිට තෝරලා දෙන්නේ අපිට වඩාත්ම වැදගත් වෙයි කියලා හිතන, එහෙම නැත්නම් අපි වඩාත්ම කැමතියි කියලා හිතන පෝස්ට්. එහෙම තෝරන්න අපේ පෞද්ගලික තොරතුරු, අපි ලයික් කරලා තියන දේවල්, නරඹපු වෙබ් අඩවි ( ඔව් ඔබ යන වෙබ් අඩවි බොහොමයක් ෆේස්බුක් එකට හොයාගන්න පුළුවන් ) වගේ තොරතුරු පාවිච්චි කරනවා. උදාහරණයක් හැටියට ඔබ සංගීතයට කැමති කෙනෙක්නම්, ඒ සම්බන්ධ පෝස්ට් වලට ලයික්, කමෙන්ට් වලින් සම්බන්ධ වෙනවා නම් ඒ බොහෝවිට ගැන තියන පෝස්ට් ඔබේ නිව්ස් ෆීඩ් එකේ ඉහලින්ම දකින්න පුළුවන්. මෙන්න මේ තෝරාගැනීමේ ක්‍රියාවලිය නිසාත් ෆේස්බුක් පිටුවක පෝස්ට් නොපෙනී යාමේ හැකියාව වැඩි වෙනවා.

මේකේ බලපෑම එන්නේ කාටද?

පොදුවේ සියලුම ෆේස්බුක් පිටු වලට මේක බලපානවා. නමුත් මුදල් ගෙවා ප්‍රචාරය කිරීමෙන් සැලකියයුතු ප්‍රතිලාභයක් ගන්න බැරි ලාභ නොලබන ආයතන/ප්‍රජාවන්(communities) නියෝජනය කරන පිටු සහ ඔබ නිතර දකින විහිලු කතා / meme පිටු වලට මේකේ බලපෑම වැඩියි. ඒ වගේම ෆේස්බුක් පිටු වලින් තමන්ගේ මාකටින් කටයුතු කරගන්න පුරුදු වෙලා ඉන්න කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ටත් මේ බලපෑම දැනෙයි.

එතකොට ඉස්සරහට මොකද වෙන්නේ?

ඉදිරි වසරවල ෆේස්බුක් වෙබ් අඩවියේ අපේක්ෂිත වර්ධනයත් බොහෝදෙනා ෆේස්බුක් පිටු වලින් තමන්ගේ ප්‍රචාරණයට සහ අදහස් ප්‍රකාශ කරන්න පෙළඹීමත් එක්ක organic reach එක කඩාවැටෙන පාටක් තමයි පේන්න තියෙන්නේ. දැනටමත් ෆේස්බුක් ඇඩ් පාවිච්චි කරන වෙළඳ සන්නාම සහ සමාගම් වලට මේක ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැති වුණත් කුඩා ව්‍යවසායකයන් දැන්ම ඉඳලා මේ කඩාවැටීමට සුදානම් වෙන එක හොඳයි.

විහිලු කතා පිටු වලට නම් තියෙන්නේ ටිකක් නරක ආරංචියක්. මේ පිටු බොහොමයක් තරුණ වයසේ උදවිය විනෝදය සඳහා පවතවාගෙන යන ඒවා. මේවගෙන් ඔවුන්ට ආදායමක් එන්නෙත් නැති නිසා සල්ලි දීලා ඇඩ් දාන එක ප්‍රායෝගික දෙයක් නෙවෙයි. ඒ නිසා දැන් වැහි වහැලා තියන meme පිටු සැලකියයුතු ප්‍රමාණයක් ඉදිරි වසර දෙක තුන ඇතුලත වැහිලා යන්න ඉඩ තියනවා.

මේකෙන් බේරෙන්න බැරිද?

අවසානයේදී සියලුම ෆේස්බුක් පිටු වලට මේ තත්ත්වයට මුහුණ දෙන්න සිදුවෙනවා. නමුත් ඔබටත් මේ ගැටලුවට මුහුණ දෙන ෆේස්බුක් පිටුවක් තියනවානම් තමන්ගේ reach එක වැඩි කරගන්න කරන්න පුළුවන් පොඩි පොඩි දේවල් නැත්තේම නැහැ.

  • මිනිස්සුන්ට වැදගත් දේවල් පෝස්ට් කරන්න

ෆේස්බුක් එකෙන් නිව්ස් ෆීඩ් එකට තෝරන්නේ වැදගත් වෙයි කියලා හිතෙන පෝස්ට්. ඊට අමතරව මේ දවස්වල ෆේස්බුක් එකේ උදවිය බොරු ප්‍රචාර අල්ලන්න ක්‍රමයක් හදමින් ඉන්නේ. ඒ නිසා රටේ නැති ඕපාදුප පල්හෑලි වෙනුවට වැදගත් යමක් පෝස්ට් කරන එකෙන් දුර ගමනක් යන්න පුළුවන් වෙයි.

  • නව ප්‍රවණතා (Trends) ගැන අවධානයෙන් ඉන්න

අන්තර්ජාලය කියන්නේ වේගයෙන් වෙනස්වෙන තැනක්. උදාහරණයක් හැටියට වසර කිහිපයකට කලින් වැඩිපුරම user engagement සහ reach එකක් තිබ්බේ ෆොටෝ පෝස්ට් වලට. නමුත් අද වෙද්දී ඒ තැන තියෙන්නේ වීඩියෝ වලට. මේ වගේ අලුත් ප්‍රවණතා ගැන අවධානයෙන් ඉන්න එක තමන්ගේ පෝස්ට් වල ගුණාත්මක බව වැඩිකරගන්න උදව්වක් වෙයි.

q

(http://marketingland.com/

  • Mobile First – ස්මාට්ෆෝන් වලට පළමු තැන

බොහෝදෙනා ෆේස්බුක් පාවිච්චි කරන්නේ ෆෝන් එකෙන්. ලංකාවේ මේ තත්ත්වය විශේෂයි. ඒ වගේම ෆේස්බුක් සමාගම තමන්ගේ වෙළඳ දැන්වීම් ආදායමෙන් 80% කට අසන්න ප්‍රමාණයක් උපයන්නේ මොබයිල් ඇඩ් වලින්. ඒ නිසා පෝස්ට් එකක් හදද්දී ඒක ජංගම දුරකතනයෙන් බලන්න පහසු වෙන විදියට හදන එක වාසිදායක වෙයි. උදාහරණයක් හැටියට landscape ෆොටෝ එකකට වඩා portrait හෝ square ෆොටෝ එකක් ෆෝන් එකෙන් බලන්න පහසුයි.

අවසාන වශයෙන් මේ තත්ත්වය වලක්වන්න පුළුවන් පාටක් නැහැ. සියලුම ෆේස්බුක් පිටු වලට මේකට මුහුණදෙන්න වෙනවා. ඒ වගේම මේක ඉදිරියට සිදුවෙන්න තියන දෙයක් නෙවෙයි දැනටම සිදුවෙමින් පවතින දෙයක්. ඒ නිසා ෆේස්බුක් හෝ වෙනත් අන්තර්ජාල මාධ්‍ය හරහා මාකටින් කරන සහ තමන්ගේ අදහස් ප්‍රකාශ කරන හැමෝම මේකට සුදානම් වෙලා ඉන්න එක නුවණට හුරුයි.

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Supun Tharindu Hettiarachchi

http://www.iconlk.com

Cyber Security undrgraduate of SLIIT, Information Security & Social Media Researcher interested in discovering and writing about cool tech stuff. https://pics.iconlk.com https://www.iconlk.com

Related post