අමරණීය ගී හඩකි ඔබ අමරදේවයනි…

පොඩි කාලේ…..

“හප්පෝ අංකල් මේ මොන සින්දුද නිදිමත වැක්කෙරෙනවනේ…ඉස්කෝලේ ගිහිනුත් අහන්න ඕනේ දැන් මේකෙත් අහපන්කෝ…මෙන්න මේ සීඩී එක දාන්න “

දැන්….

“මචං සින්දුවක් දාපන්කෝ….”
“අඩෝ අමරදේවගේ සින්දු ටිකක් තියෙන්නේ…යවන්නද?”
“උඹට පිස්සුද??? තේරුමක් තියෙන සින්දු වලට තියෙන්නෙත් ඔච්චරයි….ඔය මිනිස්සු ගියාට පස්සේ ලංකාවත් අනාතයි “

එන්න එන්නම වැඩිමහල් වියට පත්වුනු අපි තවදුරටත් ගීතයක තාලයට වඩා එහි තේරුමේ රසය, අරුත වටහාගැනීමට උනන්දු වෙයි. කුඩාකල සිටම ගුවන් විදුලියේ අමරදේවයන්ගේ, වික්ටර්, T.M ගීත අසමින් ඒ හා යන නවතම ගීත අතරත් සිරවෙමින් අතරමං වූ පරම්පරාවක් බවට අපි ඉබේම පත්විය. බයිලා, හිප් හොප් අතර සිරවුනු අපේ මනෝකායන් ක්‍රමයෙන් වැඩිමහල් වනවිට නැවතත් ඒ උත්තුංග චරිතවල ගී තනු සොයා යන්නේ කාලයා විසින් පසක් කරන ලද නියමයක් විලසිනි. නැවතත් ඒ අතීත රාග තාල වල ගුණ වරුණ අතර සිරවෙන්නේ පෙර පිනක් පලදුන්නා මෙනි. වෙසක් කාලයට ගම් නගර සිසාරා බුදුගුණ බෙදන්නේද, වයස් භේද තොරව ජීවිතයේ මුහුණදෙන අත්දැකීම් වලට අරුතක් එක් කරන්නේද, ආදරයේ සැබෑ අරුත විචිත්‍රවත් කරන්නේද වෙන කිසිත් නොව ඒ අතීත ගී තනුයි. ලොව කෙසේ වෙනස් වුවත් වර්තමානය ඒ සොදුරු අතීතයේම කැඩපතක් බව පසක් කිරීමට මේ ගී තනුවලට හැකියාවක් ඇත. එලෙස දේශයම එලිය කල මහා මිණි පහණ අද නිවී ගොස්ය. ඔහු දායාද කල ඒ ගී රටා පමණක් ඉතිරි වී ඇත. එහි ගුණ සුවද චිරාත් කාලයක් ලක් දෙරණේ හමනු ඇත. නමුත් අපි සියල්ලන්ම එක් පසෙකින් වාසනාවන්ත වීමු. අවුකන බුදුරදුන්ට දෑස දුන් ඒ උත්තුංග මිනිසා නොදිටිමු. නමුත් ඒ දෑස් වල අරුත පෙලහර පා සප්ත ස්වරයෙන් දේශයක් එක්සේසත් කල ඒ අමරදේවයන් සිටි කල ඉපදී සිටියෙමු. ගාන්ධර්වරයාණෙනි, ඔබට අමාමහ නිවන් සුව අත්වේවා.

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

derpa_D

Related post