ළමයද ෆේල්? රජයද ෆේල්??

ඔයාල කවුරුත් දන්නවනේ  ඊයේ පෙරේද 5 වසර ශිෂ්‍යත්ව විභාගේ ප්‍රතිපල නිකුත් වුනා කියලා. ඒ කියන්නේ ඉතින් අපේ රටේ අම්මලා  තාත්තලා  සැහෙන කාර්ය බහුල වෙන කාලයක් තමයි මේක. ඒ වෙන මොකක්වත් නිසා නෙමෙයි තමන්ගේ ළමයටත්  වඩා  අනුන්ගේ ළමයින්ගේ ප්‍රතිපල ගැන වදවෙන්න ගිහිල්ලා. සමහර අම්මලට නම් තමන්ගේ ළමයෙ ප්‍රතිපලේ අදාලම නෑ, අනුන්ගේ ළමයාගේ ප්‍රතිපලේ තමයි වැදගත්. සමහර අම්මාලා නන්  වදවෙන්නේ “අරයගෙ ළමයත් පාස් වුනා නම් ඇයි අපේ එකාට බැරිවුනේ” කියලා. “අපේ එකා කොහොම පාස් වෙන්නද අපේ එකාට කොහෙද එහෙම මොලයක්”  කියල එකටම එකතු කරන තාත්තලත්  නැතුවම නෙමෙයි.

 

එත් ඇත්තටම කොහොමද ශිෂ්‍යත්වේ පාස් ෆේල් තීරණය වෙන්නේ. කවුරුත් දන්නවා මේ පාර ශිෂ්‍යත්වේ පාස් මාක් එක දිවයිනේ ගොඩක් දිස්ත්රික්ක වල 159යි කියලා. (අනෙක් දිස්ත්රික්ක වලත් ඒ ආසන්න ගණන්) ඒ කියන්නේ 159ක් ගත්ත කෙනා පාස් 158ක් ගත්ත කෙනා ෆේල්. මෙතන මොකක්හරි අඩුපාඩුවක් තියෙනවා කියල ඔයාට තේරෙනවනේ. ලකුණු 200න් දෙන පේපර් එකකක් 158ක්ම ගත්ත කෙනෙක් ෆේල් වෙන්නේ කොහොමද?

 

අපි බලමු ඇත්තටම කොහොමද මේ පාස් මාක් එක තීරණය වෙන්නේ කියලා. ඔයාල දන්නවනේ මේ ශිෂ්‍යත්ව විභාගේ  පවත්වන්නේ  ශිෂ්‍යත්ව විභාගය සමත්වන අඩු ආදායම්ලභී දෙමව්පියන්ගේ දරුවන්ට ශිෂ්‍යාධාර මුදලක් ලබා දෙන්න සහ ජනප්‍රිය යයි සම්මත  පාසල් වලට සිසුන්  ඇතුලත් කර ගැනීමේ ක්‍රමවේදයක්  කියලා. ඉතින් රජයට එම වසරේ ශිෂ්‍යත්ව අරමුදල සදහා දරන්න පුළුවන් වියදමට සරිලන්න සහ ජනප්‍රිය පාසල්වල ඉඩ පහසුකම් තිබෙන ප්‍රමාණයට සරිලන්න ඒ ඒ වසරවල කඩඉම් ලකුණ වෙනස් කරනවා. ඒ කියන්නේ රජයට ශිෂ්‍යාධාර සදහා වැඩි මුදලක් වෙන් කිරීමේ සමත් අසමත් භාවය සහ ජනප්‍රිය පාසල් වල ඉඩ පහසුකම් ඇති කිරීමේ  සමත් අසමත් භාවය අනුව ළමයින්ගේ පාස් ෆේල් බව තීරණය කරනවා.

 

එක කොච්චර අසාධාරණ ක්‍රමයක්ද? රජයේ නොහැකියාව නිසා මේ දළුලාගෙන  එන වයසේ ඉන්න ළමයින්ගේ  මනසට එයා පරාජිතයෙකු කියන හැගීම කාවද්දන එක කොච්චරනං  අපරාධයක්ද?  එක ඒගොල්ලන්ගේ  ඉදිරි ගමනට මොනතරම් නරක විදියට බලපානවද? දියුණුයි කියලා කියන ලෝකයක නොදියුණු මිනුම් දණ්ඩක් පාවිච්චිකරලා  කරන මේ අසාධාරණයට විරුද්ධව කතාකරන්නේ  කවුද?

 

ඔයාලම පොඩ්ඩක් හිතල බලන්න. ඇත්තටම ෆේල් ළමයද? එහෙම නැත්නං රජයද??

 

– පැතුම් විදානගමගේ (06/10/2016)

 

 

 

 

 

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related post