අහිමි සඳ

මං කලුයි.ඒත් එයා මං තරම් කලු නැහැ.ඒ නිසා මං එයාට කිව්වේ “සුදු බෝලේ” කියලා.එයා මට කිව්වේ “කලු කෙල්ල” කියලා. අපි couple එකකටත් වඩා හිටියේ යාලුවෝ වගේ.බොරුවට රණ්ඩු වුනා,විහිලු කරගත්තා……ඒ හැමදේකින්ම මට මහා ගොඩක් ආදරේ දැනුනා.

මට මතකයි දවසක් එයා ලස්සන සුදු කෙල්ලෙක් පෙන්නලා කිව්වා
‘අන්න අර වගේ සුදු කෙල්ලෙක් හොයාගන්න ඕන’ කියලා. මට දුක හිතුනත් ඒක කිව්වේ විහිලුවට නිසා මං ඒ ගැන හිතුවේ නෑ.ඒත් මං දන්නවා….ඔයා ආසාවෙන් හිටියේ පොඩ්ඩක් හිනාවුනාමත් මූන රතුවෙන,කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නැති,හුරතල් දඟකාර සුදු කෙල්ලෙක්ට කියලා. ඔයා විහිලුවට උනත් ඒ කියන දේවල් වලට මං ගෙදර ඇවිත් කොච්චර අඬන්න ඇත්ද? ඒත් මං ඔයාට ඒ ගැන මුකුත්ම කිව්වේ නැත්තේ මට ඔයා එක්ක රණ්ඩු කරන්න බැරි නිසා.

ඔයාට මතකද? දවසක් සාස්තරයක් කියන්න අත දෙන්න කියලා ඔයා මට කිව්වා
‘ඔයාගේ අල්ල ත් මට වඩා කලුයිනේ කලූ’ කියලා.
ඒකනම් කමක් නෑ. ඒත් ඊටපස්සේ කියපු දේට නම් මට කඳුලු නවත්තගන්න බැරි උනා.  ඔයා කිව්වා
‘මේ දැරිවිට ලස්සන පිරිමි ලමයෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා. ඕක තියෙන්නේ අවුරුදු 5යි’ කියලා.
හිතන්නවත් වෙලාවක් ඉතිරි නොකර මගේ ඇස් වලින් කඳුලු වැටෙන්න ගත්තා. එදා ඔයා මාව තුරුලු කරන් කිව්වා
‘විහිලුවක්නෙ මැට්ටියේ කරේ…මගේ කලු කෙල්ලව දාලා මං කොහේ යන්නද’ කියලා.

එහෙම කියපු ඔයා අපේ ආදරේට අවුරුදු 2ක් පිරෙන්න ඔන්න මෙන්න තියෙද්දි මාව දාලා ගියා. මං ඔයාට වරදක් කියන්නේ නෑ. කවුරු වුනත් ලස්සන කියන දේ ඕනම කෙනෙක්ගෙන් හොයනවනේ. මං දන්නවා….මං කලුයි. කැතයි. මාව පෙන්නලා ‘ඒ මගේ girl friend’ කියලා කියන්න ඔයාට ලැජ්ජ ඇති. කමක් නෑ සුදූ.

ඒත් එදා වගේම අදත් මං හැම සෙනසුරාදම පන්සල් යනවා. එදා අපි දෙන්නා වෙනුවෙන් පත්තු කරපු පහන් දෙක මං අදටත් පත්තු කරනවා. මට ඔයාලා දෙන්නා එක්ක තරහක් නෑ. ඔයාලාට වෛර කරලා තවත් පව් පුරවගන්න බෑ මට. එහෙම වුනොත් ලබන ආත්මෙත් මට මෙහෙම දුක් විඳින්න වෙයි. මේ ආත්මේදි ඔයාව මට ලැබුනෙ නැතත් ලබන ආත්මෙදි මං කොහොමහරි ඔයාව හොයාගෙන එනවා.
අනේ බුදු හාමුදුරුවනේ….මට නිවන් දකින්න ඕනා නෑ. යශෝදරා හැම ආත්මෙම හිටියනෙ ලඟ. මටත් තව එකම එක මනුස්ස ආත්මයක් ලබා දෙන්න. ඒ ආත්මෙදිවත් කිසිම අඩුපාඩුවක් නැතිව ඉපදිලා මගේ සුදු බෝලේ මගේම විතරක් කරගන්න මට ආශිර්වාද කරන්න…
~SRW~

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related post