‘ඇගේ ඇස අග’ මහාචාර්යවරයා ලාංකිකයන් අමතයි

මා වඩාත්ම අගය කරන්නේ ස්වර්ණා සමඟ වැඩ කිරීමයි

– ප්‍රවීණ ඉන්දීය නළු ධ්‍රිතිමන් චැටර්ජි

අශොක හඳගමගේ ‘ඇගේ ඇස අග’ මේ මොහොත වන විට සීමිත ප්‍රදර්ශනයේ අවසන් අදියරේ පවතී. මෑත අවධියේ චිත්‍රපටයක් සහ එහි චරිත එක මිටට ගෙන විචාර හා අදහස් පළවුණි නම් ඒ ‘ඇගේ ඇස අග’ විය යුතුය. මන්ද යත් සම්ප්‍රදායික මාධ්‍යවලින් ඔබ්බට ගෙස් අවකාශයේ සමාජ ජාල මාධ්‍යවල ද ප්‍රබල ලෙස විචාර හා මත පළ කළ චිත්‍රපටයක් මෑත කාලයේ වූයේ නම් ඒ ‘ඇගේ ඇස අගයි’. සාම්ප්‍රදායික ගණන් කළ හැකි මට්ටමේ මාධ්‍ය සංඛ්‍යාවක් තුළ ගණන් කළ හැකි විචාර සංඛ්‍යාවක් සේම ෆේස්බුක් වැනි සමාජ ජාලයන් තුළ චිත්‍රපටය අනේක වාරයක් අතින් අත යාම හරහා චිත්‍රපටයට මනා පිරික්සුම් පහනක් එල්ල වීම ජීවමාන විය. චිත්‍රපටයේ මහාචාර්යවරයාගේත්, ඔහුගේ බිරිඳගේත්, විශ්ව විද්‍යාල ශිෂ්‍යාවගේත් ජීවිත ත්‍රිත්වය එකට ගෙන දැකීමත්, එයට මිශ්‍ර මත පළවිමත් යම් යම් කාරණවලදී අශෝක හඳගම ඒවාට මතවාදීව මැදිහත්වීමත් මෙකී සමාජ ජාල චිත්‍රපට කලාව උදෙසා උදා කළ ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී තත්ත්වයකි. මෙසේ ගණන් කළ නොහැකි ප්‍රතිචාර, විචාර, මත දැක්වීම් යටතේ චිත්‍රපටයේ මහාචාර්ය භූමිකාව ද යම් විශේෂයකට බඳුන් විය. චිත්‍රපටය පුරාම ඔහු පෙන් වූ හැසිරීම් රටාව එකින් එක ගෙන විචාරයකට ලක් වන්නට තරම් ඔහුගේ භූමිකාව තියුණු විය. ඔහු ඉන්දියාවේ බෙංගාලයේ උපන් ධ්‍රිතිමන් චැටර්ජි. 70 දශකයේ බෙංගාල චිත්‍රපට කර්මාන්තයට ආ ඔහු සත්‍යජිත් රේ මහා සිනමාකරුවාගෙන් විවරණ ලබන්නෙකි. ඔහු අපට හමු නොවුණත් අන්තර් ජාලය ඔස්සේ ඔහු අප සමඟ එක් විය.

ඉන්දියානු සිනමාව කියන්නේ ප්‍රාදේශීය සිනමාවල් ගොඩක එකතුවක්. සෑම ඉන්දියානු සිනමා වෘත්තිකයෙක්ටම මේ ප්‍රාදේශීය අනන්‍යතාව තිබෙනවා. අපට ඔබව බෙංගාල නළුවෙක් හැටියට හඳුනා ගත්තාට ඔබ බොම්බායේ බොලිවුඩ්වලත් රංගනයේ යෙදෙනවා. ඇත්තෙන්ම ඔබේ ප්‍රාදේශීය අනන්‍යතාවය කුමක්ද?

මූලිකවම මම ජීවත් වන ප්‍රදේශය ඉන්දියාවේ බෙංගාලය. ඒ නිසාම මම රඟපාපු බොහොමයක් චිත්‍රපට නිපදවුණේ බෙංගාල භාෂාවෙන්. නමුත් පුද්ගලිකවම මම හිතන්නේ සෑම නිර්මාණශීලී පුද්ගලයෙකුම මේ පටු සීමාවන් බිඳලා දාලා වඩාත් පුළුල් ලෝකයක් ගවේෂණය කළ යුතුයි කියන එක.

කෙසේ වෙතත් මා ඔබ රඟපෑ දිගු චිත්‍රපට ලැයිස්තුවක් කොතැනකවත් දකින්නේ නැහැ. මොකක්ද එයට හේතුව?

1970 සිට එනම් ප්‍රථම චිත්‍රපටය රඟපෑ වකවානුවේ සිට 80 දශකයේ මැද දක්වා මා චිත්‍රපටවල රඟපෑමේ නිරත වුණේ නැහැ. මොකද මම වෘත්තීයෙන් වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ නියුක්ත වන කෙනෙක් නිසා චිත්‍රපටවල රඟපෑම අදටත් මට ද්විතික කාරණාවක්. අනෙක් කාරණාව මට චිත්‍රපට තරුවක් වීමට අවශ්‍ය යයි කියා සිහිනයක් හෝ බලාපොරොත්තුවක් තිබුණෙත් නැහැ. ඒ කාරණය එසේ තිබියදී රඟපෑමේ මගේ වැඩි කැමැත්ත තිබුණේ සමාන්තර ධාරාවක තිබුණු දේශපාලන ප්‍රකාශනවාදී සිනමාවට මිසක ප්‍රධාන ධාරාවේ තිබුණු වාණිජ චිත්‍රපටවලට නෙවෙයි. ඒකයි ඔය ලැයිස්තුව ඔතරම් කෙටි.

ඔබේ ඒ තීරණය නළුවෙක් වශයෙන් හැකිලීමකට ලක්වීමක් නෙවෙයිද?

අදටත් මම විශ්වාස කරන්නේ නැහැ මම වෘත්තීය නළුවෙක් කියන එක. ඒ කෙසේ වෙතත් ඔය සමාන්තර හා ප්‍රධාන ධාරා කියන සිනමා සංකල්පය ඉන්දියාවෙන් නැති වෙලා ගියේ 90 දශකයේ. එතැනින් පස්සේ තමයි මම නළුවෙක් හැටියට හොඳ චරිත තෝරගෙන සීමා පුළුල් කර ගත්තේ. එහිදී මම ඒ චිත්‍රපට කුමන රීතියකට අයත්දැයි සලකා බැලුවේ නැහැ. නමුත් මගේ අනෙක් කර්තව්‍යන්ට කාලය මිඩංගු වෙනවා වැඩියි. එනමුත් හොඳ සිනමාවක් වෙනුවෙන් දායක වෙන්න ලැබෙන හැම අවස්ථාවක්ම මම ලබා ගන්නවා.

ඔබේ රංගන ජීවිතයේ ආරම්භය 70 දශකය. නළුවෙක් වීමට ඔබට මාර්ගය සැකසුණේ කොහොමද?

ඉහතදීත් ඔබට කිව්වා වගේ මට නළුවෙක් වීමට කිසි බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් මට සිනමාව ගැන ලොකු උනන්දුවක් තිබුණා. දීර්ඝ කාලයක් තිස්සේ ඒ වගේම මම විශ්ව විද්‍යාලයේ ඉන්න වකවානුවේ එහි චිත්‍රපට සංගමය හා සම්බන්ධ වෙලත් හිටියා. ඔය අතරවාරයේ තමා සත්‍යජිත් රේ සිනමාකරුවා මාව ‘ප්‍රතිද්වන්දි’ චිත්‍රපටයේ ප්‍රධන චරිතයක් සඳහා තෝරා ගත්තේ. මගේ නළුකම කෙසේ වෙතත් එතැනදි මට වැඩිම ආශාව තිබුණේ මේ ශ්‍රේෂ්ඨ සිනමාකරුවා වැඩ කරන දිහා බලන් ඉන්නයි. එතැනින් පස්සෙත් මම තේරා බේරාගෙන ගමනක් තමා ගියේ. මගේ කැමැත්ත අනුව පසුව මම පූර්ණකාලීනව වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයෙත් කතානාද නොවන චිත්‍රපටවලත් වැඩ කළා.

‘ප්‍රතිද්වන්දි’ කියන්නේ සිනමාවේ ඔබේ පළමු හමුවිම. සත්‍යජිත් රේ සමඟ ඔබේ අත්දැකීම් කොයි ආකාරද?

සත්‍යජිත් රේ කියන්නේ සිනමාකරණය ගැන පරිපූර්ණ දැනුමක් සහිතව වැඩ කළ කෙනෙක්. සිනමාවේ සෑම පැත්තක් ගැනම ඔහුගේ දැනුම විශිෂ්ටයි. ඔහු ආධුනික නළුවන් පවා මෙහෙයවූවා. චිත්‍රපටයේ තිබෙන දෙබස් හා චලන ඒ නළුවන්ගේ විදිහට නිදහස් වටපිටාවක උකහා ගන්නයි ඔහු උත්සාහ කළේ. ඔහුගේ නළුවන් අධ්‍යක්ෂණය කැපී පෙනුණත් නළුවන්ගේ ශෛලිය ඒ අයුරින් උකහා ගැනීමයි වැඩියෙක් කැපී පෙනුණේ.

ඔබ වැඩ කළ චිත්‍රපට අතරින් මිර්නාල් සෙන් කියන ප්‍රවීණ චිත්‍රපටකරුවාත් මතු වෙනවා. මං හිතන විදිහට රේ සමඟ වැඩ කළාට පසුව ඔබට ලැබෙන තවත් වරප්‍රසාදයක් මිර්නාල් සෙන් කියන්නේ?

ඇත්ත වශයෙන්ම. සත්‍යජිත් රේ සමඟ වැඩ කළ වහාම වගේ මට මිර්නාල් සෙන් මුණ ගැසෙන්නේ. ඔහු තවත් ඉන්දියානු ශ්‍රේෂ්ඨ සිනමාකරුවෙක්. දැන් ඔහුට වයස අවරුදු 90 කටත් වැඩියි. 2014 දී ‘ඇගේ ඇස අග’ රූගත කරන කාලයේ තමා ඔහුගේ 91 වැනි උපන් දිනය යෙදී තිබුණේ. ඒ නිමිතිකොට මමයි, ස්වර්ණයි (ස්වර්ණා මල්ලවආරච්චි) ඔහුට දුරකථනයෙන් සුබ පැතුවා. විශේෂයෙන් කියන්න ඕනෑ මිර්නාල් සෙන් හා සත්‍යජිත් රේ කියන දෙදෙනා ගැනම මම හදාරන්න ගත්තේ ඔවුන් මට මුණ ගැහෙන්නත් කලින් සිනමාව ගැන උනන්දු කාලේ. මට තිබුණු ලෝක සිනමාවේ දැනුමයි, සිනමාවේ දේශපාලන දෘෂ්ටිවාදය ගැන දැනුමයි බෙහෙවින් ඉවල් වුණා මොවුන් දෙදෙනා සමඟම වැඩ කරන්න. ඒ කෙසේ වෙතත් සෙන්ගේ ක්‍රමය රේට වඩා ගොඩක් වෙනස්. ඔහු හරිම නම්‍යශීලීයි. ඒ වගේම තිර පිටපත සම්බන්ධයෙන් නළු නිළියන්ගේ රංගනය සම්බන්ධයෙන් ඔහු සුභවාදී ලෙස වෙනස්කම්වලට භාජනය කරනවා.

වෙනස් සම්භාව්‍ය අධ්‍යක්ෂවරුන් සේම ඉන් මත්තටත් ඔබ කීව පරිදිම ඔබේ සීමාවන් පුළුල් වුණා කියලා මට හිතෙනවා. උදාහරණයකට ඔබ මෑතක සිටියේ බොලිවුඩයේ. එහි සුප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරු සමඟ?

නළුවෙක් හැටියට විවිධ ශෛලීන්වලට අනුගත වීමේ අභියෝගය භාර ගන්න මම කැමැතියි. ඒ සඳහා මම විවිධ අධ්‍යක්ෂවරුන් සමඟ මගේ සිතැඟි තිබෙන නිර්මාණ එක්ක වැඩ කළා. ඒ නිසා විවිධ ශෛලීන් තිබෙන අවස්ථා එක්ක ගනුදෙනු කළා. නම් වශයෙන් කිව්වොත් අපර්ණා සෙන්, මනි රත්නම්, ජේන් කැම්පියත්, සන්ජේ ලීලා බන්සාලි හඳුන්වන්න පුළුවන්. මගේ චිත්‍රපට බංග්ලා භාෂාවෙන් පදනම් වුණත් හින්දි, ඉංග්‍රීසි, දෙමළ දැන් සිංහල භාෂාවෙන් ගනුදෙනු කළා. මේ සීමාව තවත් පුළුල් කරන්න පුළුවන් නම් මම ඒකත් කරනවා.

‘ඇගේ ඇස අග’ (LET HER CRY) මේ අවස්ථාව ඔබට කොහොමද ලැබෙන්නේ?

මම හරියටම දන්නේ නැහැ මෙයට ‘අවස්ථාවක්’ කියන්න පුළුවන්ද කියලා. මෙයටත් යම් පසුබිමක් මට තිබුණා. මම 1990 මැද භාගයේ ලංකාවේ අවුරුදු 2 ක් ගත කළා වෙළෙඳ දැනවීම් ක්ෂේත්‍රයේ. ඒ අවස්ථාවේ තමා මම ඇත්තටම ශ්‍රී ලංකාව සමඟ පෙමින් වෙළුණේ. අදටත් මගේ කිට්ටු මිත්‍රයෝ ලංකාවේ ඉන්නවා. මම නිතරම ලංකාවට ආවා ගියා වගේම සමහර ලාංකිකයන්ටත් වඩා මම ලංකාව ගැන දන්නවා. ඒ කාලේ තමා මට ප්‍රසන්න විතානගේ මුණ ගැසුණේ. ඔහුගේ වැඩ ගැන මම අතිශයෙන් පැහැදුණා වගේම ඒවා මගේ සිත්ගත් නිර්මාණ. ප්‍රසන්න මාර්ගයෙන් තමා මට අශෝක හඳගම හඳුනා ගන්නට ලැබුණේ. මට අශෝකගේ නිර්මාණ දැකගන්නට ලැබුණෙත් අන්තර්ජාලයෙන්. ඒ නිර්මාණ මම කලින් දැකපු නිර්මාණවලින් වෙනස් කියලා දැනුණා. මට අනුව නම් අශෝක තම මතය වෙනුවෙන් නිර්ව්‍යාජව පෙනී සිටින ප්‍රේක්ෂකාගාරයේ සුමට ප්‍රතිචාර වෙනුවෙන් තම මතය එහා මෙහා කොට ලිහිලක් බුරුලක් නොදක්වන සිනමාකරුවෙක්. ඉතින් අශෝක මේ චරිතය මට විස්තර කරද්දී මම කඡ්ඉ කියලා කියන්න කිසිම බයක් සැකක් තිබුණේ නැහැ. මෙහිදී මං වඩාත් අගය කරන කාරණය ශ්‍රේෂ්ඨ නිළි ස්වර්ණා මල්ලවආරච්චි සමඟ මට වැඩ කරන්නට ලැබීම.

ඔබේ සිනමා පසුබිම හදන්න දායක වුණු ශ්‍රේෂ්ඨ සිනමාකරුවන්ගේ රීතියට අශෝකගේ රීතියත් එකතු වෙනවා කියලයි මට හිතෙන්නේ. ඔබේ අදහස?

ඇත්තෙන්ම අශෝක කියන්නේ අඩුවෙන් කතා කරන කෙනෙක්. ඔහුගේ තැන්පත් ස්වභාවය මෙන්ම යමක් හකුළලා කීමේ ස්වභාවය ඔහුත් සමඟ වැඩ කිරීම පහසු කරනවා. ඒ හකුළලා කීමෙන් බලාපොරොත්තු වෙන්නේ යම් කිසි රූපමය පරිකල්පනයකට නළුවාව ඇතුළු කොට ඊට සරිලන පරිදි නළුවාව අනුගත කිරීමයි.

ඔබට අශෝක දුන්නේ ටිකක් බරපතළ විදිහක චරිතයක්. එහි සාර්ථකත්වය දැනටමත් පෙනෙනවා. ඔබ කොහොමද මේ මහාචාර්යවරයා ගොඩනැඟුවේ?

ඕනෑම හොඳ සිනමාවක් සන්දර්භයේ වපසරිය කුඩා වුණත් පෑහිය යුත්තේ විශ්වීය පොදු කාරණා සමඟ. එම නිසා මහාචාර්යවරයාගේ අභ්‍යන්තර අර්බුදය සහ මුහුණ දෙන අකරතැබ්බයන් තේරුම් ගන්න එක එතරම් අපහසු නැහැ. මම කලිනුත් කිව්වා වාගේ මම ලංකවේ සත්දර්භය හා සංස්කෘතිය සමඟ කිට්ටුයි. ඒ වාගේම සිංහල භාෂාව එතරම්ම මට ආගන්තුක නැහැ. මොකද මෙහේ සිටි වකවානුවේ මම සිංහල ඉගෙන ගන්න උත්සාහ කළා. ඒ නිසා ඒ දේවලුත් මට උදව් වුණා මේ චරිතය ගොඩ නඟද්දී.

ශ්‍රී ලංකාවේ සිනමාව ඔබ දකින විදිහ?

ලෝකයේ පවතින වෙනත් කුඩා සිනමාවන් සේම ලංකවේ සිනමාවත් ඒවායේ පොදු ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටිනවා. විශේෂයෙන් චිත්‍රපට වෙළෙඳපොළ කුඩා වීම, ප්‍රේක්ෂකාගාරයේ පිරිහීම, හොලිවුඩයෙන් බොලිවුඩයෙන් හා දෙමළ වාණිජ සිනමාවෙන් එල්ල වන දැවැන්ත අභියෝග ඊට හේතුවයි. නමුත් කැපවීමෙන් වැඩ කරන සිනමාකරුවන් මේ තත්ත්වයන් මැඬගෙන සිටිනවා. කෙසේ නමුත් ඉරාන, තායිවාන, කොරියනු සිනමාවන් අන්තර් ජාතික තලයේ නමක් දිනා ගත්තා සේ ලංකාවත් කැප විය යුතුයි තමන්ගේ තැන ලෝකයේ තහවුරු කරගන්න.

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Shenal Jayasekera

Related post