දන්සැල් – තවත් හිස් සංදර්ශනයක් පමණි

වෙසක් කාලය සහ පොසොන් කාලය යනු ලංකාවේ දන්සැල් බහුල කාලයයි.අතීතයේ දන්සැල් දුන්නේ පා ගමනින්ම බොහෝ දුර ගෙවා වන්දනාවේ ගිය දුගී දුප්පත් අහිංසක මිනිසුන්ටය.ඔවුන්ට ආහාර ලබාගැනීමට වෙනත් ක්‍රමයක් තිබුණේද නැත.දන්සැල් පැවතියේ සිද්ධස්ථාන ආශ්‍රිතව පමණි .දන්දෙන දායකයාගේ ,මෙන්ම ප්‍රතිග්‍රාහකයාගේද චේතනාවන් පිරිසිදුය.ඉදින් දානමය කුසල කර්මයක් සිදුවේ. බුදුදහම ට අනුව ආහාර දානය තුලින් වැඩිම කුසල කර්මයක් සිදුවන්නේ බුදුන් ප්‍රමුඛ සංඝයාවහන්සේලාට දන්දීමෙනි.ක්‍රමයෙන් අඩුවන පිලිවෙලට සැකසූ විට අඩුම කුසලයයක් ලැබෙන්නේ තිරිසන් සතුන්ට දන්දීමෙනි.ඉතින් ,මනුස්සයෙකුට කෑම වේලක් දීමේ කිසිම වරදක් නැත.සිදුවන්නේ කුසලයකි.එහෙත් බුදුදහමට අනුව කුසල කරමයන්ගේ ශක්තිය දායකයාගේ හා ප්‍රතිග්‍රාහකයාගේද චේතනා මත රදා පවතී.

වර්තමානයේ දන්සැල්වලට පැමිණෙන සාතිශය බහුතරයක් විනෝදයට දන්සැල් කෑමටම එන පිරිසක්‍ ය.සිද්ධස්ථාන අසලම වුවත් මිලියන ගණනක මෝටර් රථයක නැග පවුලේ තුන් හතර දෙනාම පෝලිමේ ගොස් දන්සැල් කන පිරිස්ද ඇත.ඒ දන්සැල් කෑමේ ආතල් එකක් ගැනීමට මිස වෙන කුමකටවත් නොවේ.දන්සැල් කන සාතිශය බහුතරයක් පිරිසද, කන්න බොන්න නැති අසරණයන් නොව පුරුද්දට දන්සැල් කන පිරිසකි.ඒ කට්ටිය කියන්නේ දන්සැලකින් නොකෑවොත් ලොකු අඩුවක් බවය.

අනිත් අතින් දන්සැල් දෙන අය සාතිශය බහුතරයක් ,දන්සැල් දෙන්නේ අසරණ මනුස්සයෙකුට කන්න වේලක් දී පින් රැස් කරගැනීමේ චේතනාවෙන් නොවේ.තරුණ පිරිස් ,අර සමිතිය ,මේ සමිතිය කියා දන්සැල් දෙන්නේ විනෝදෙටය.දේශපාලන නායකයන් දන්සැල් දී තමන්ගේ චරිතය ට වැදුණු කුණු සෝදාගෙන පිරිසුදු චරිතයක් ලෙස බැබලීමට උත්සාහ කරයි.ගමේ කසිප්පු මුදලාලිද උපරිම වෙහෙස වී දන්සැලක් දෙන්නේ පිරිසුදු චරිතයක් බව ලොවට පෙන්වීමටයි.මුලු වසරම භීෂණකාරී ලෙස හැසිරෙන සමහර ආයතනද තමන් ඉතා යහපත් බව ලොවට පෙන්වීමට දන්සැල් දෙයි.මෙය කලු සල්ලි සුදු කිරීමේ ජාවාරමක් හා සමානය.

මේ අතර තවත් පිරිසක් ඇතැම් ආයතනවල දන්සැල් දෙන්නේ මීට පෙර වසරේදීත් කල නිසායි.ඒක සමාන වෙන්නේ කොටි වලිගේ අල්ලා ගත් ගමරාලගේ කතාවටයි. කලාතුරකිනි, අර්ථවත් දන්සැලක් පැවැත්වෙනුයේ..උදාහරණයක් ලෙස ශ්‍රී පාද වන්දනා සමයේ ඒ ආශ්‍රිතව පැවැත්වෙන දන්සැල් හැදින්විය හැක.එහි පිසූ ආහාර සොයා ගැනීමේ දැඩි අපහසුව සහ ශීත කාලගුණය නිසා,දන්සැල් වලින් පුලුල් සේවයක් බැතිමතුන් ට සිදුවේ.

පොදුවේ ගත්කල,මේ කිලෝමීටර් ගණනක් දිග දන්සැල් පෝලිම් වල නිරාහාරව සිටින දුගී දුප්පත් මනුස්සයෙකුට නම් සිටිය නොහැක.මෙතරම් පැය ගණනක් පෝලිමේ සිටියහොත් නිරාහාරික දුගී මිනිසා ක්ලාන්තය සෑදී බිම වැටීම නිසා සිදුවන්නේ වෙනත් අකරතැබ්බයකි. ඉතින් ,මේ ඇති හැකි අයටම කන්න දීමටම වඩා දුගී දුප්පත් මිනිසුන්ට මේ දන්සැල් වෙනුවෙන් වියදම් කරන මුදල් වියදම් කරන්නේ නම් එය කොතරම් යහපතක්ද??පින් කිරීමට පෝය දවස්ම අවශ්‍ය නැත.පෝය දවස්වල කරන පින් වල අනික් දවස්වලට වඩා වැඩි ආනිශංසයක්ද නැත.තමන්ට නිදහස් ඇති දවසක, පදික වේදිකාවේ වැටී,බස් රථ ගාල්වල වැටී ජීවත්වන අහිංසක මිනිසුන්ට කෑම වේලක් දීමත්, පාසල් පොත් ආදිය නොමැතිව ,ඒවා ගැනීමට මුදල් නොමැතිව දුක් විදින අහිංසක මිනිසුන්ට පිහිටවීම ආදිය ,මේ නිරපරාදේ සංදර්ශන වෙනුවෙන් වැය කරන මුදල් යොදා කල හැකි වඩාත් කුසල් රැස් වන දේ වලට උදාහරණයන්‍ ය.

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Kalana Krishantha

Related post