උඹත් අපේ එකෙක්

රෙඩි, පොඩ්ඩා, කට්ටා, අයියා, විමලෙ අපේ සෙට් එක. අපිව අඳුරන්නෙ නැති කෙනෙක් අපේ ඉස්කෝලෙ ඉන්නවා කියලා නම් හිතන්නෙ නෑ. ඒ වෙන මොනවා නිසාවත් නෙවෙයි අපේ හැදියාව හින්දා. හිතාගන්න පුළුවන්නේ අපේ හැදියාව ගැන. රෙඩි තමයි අපේ සෙට් එකේ ලොකු සයිස්. එහෙම කියනකොට නම් ඌට තරහ යනවා. එතකොට පොඩ්ඩා. ඌ මිටියි. හරියට හත අට වසරෙ කොල්ලෙක් වගේ. කට්ටා තමයි අපේ සෙට් එකේ මුදුන් මුල. ඌ නැත්නම් අපිත් විභාග ලියලා හමාරයි. කට්ට කාගෙන ඌ වැඩ කරනවා. ඌ හැමදාම පන්තියෙ පලවෙනියා. එහෙමෙයි කියලා ලොකු සීන් දෙන්නෙ නෑ. අපේ විභාග තීරණය වෙන්නෙ කට්ටා මත කිව්වොත් හරියටම හරි. පොර ටෝක් දෙන පොරක් අපේ සෙට් එකෙත් ඉන්නවා. ඌ අයියා. විමලෙ ගැන කියන්න අමතක වුණානෙ. ඌගෙ නම විමල්ක. අපි කියන්නෙ විමලෙ කියලා. විමලෙ ශිෂ්‍ය නායකයෙක්. අපි කරන පජාත වැඩවලට වැඩියෙන්ම වන්දි ගෙවන්නෙ ඌ. “ නායකයෙක් වුණාම අනිත් ළමයිට ආදර්ශයක් වෙන්න ඕන.” ඌට දැන් ඒක අහලා එපා වෙලා ඇති. විමලෙට තරහ ගස්සන්න ඕනි නම් ඒක කිව්වොත් හරියටම හරි. මම කවුද කියලා දැනගන්න ඕනද? එක්කො ඕනෙ නෑ. උඹලා ඒක ඇහුවොත් මට හිනාවෙයි.

අපේ තියන එකම වැරැද්ද විසේ වැඩි එක. දවසට එක පාරක් හරි අපේ එකෙක් කාගෙන්හරි හොඳ එකෙන් අහගන්නවා. එක්කෙනෙක් අහගන්නවා කියන්නෙ සෙට් එකම අහුවුණා කියලා තමයි. මම කිව්වනේ අපි අඳුරන්නෙ නැති කෙනෙක් මෙහෙ නෑ කියලා. දැන් නම් එහෙම බැනුමක් නැති වුණොත් නිකම් මොකද්ද වගේ. අපි හරියට සහෝදරයො වගේ. එකෙක්ව පාගලා දාලා ඉස්සරහට යන්න අපි කාටවත් ඕන කමක් තිබුණෙ නෑ. ඒ වගේම ඉරිසියාව අපේ මායිමකවත් තිබුණෙ නෑ.

අළුත් ෆිල්ම් එකක් ඇවිත්. ඒ වගේම එදා ගණන් පීරියඩ් දෙකක්.  අපි එකොලහ වසරෙ කියන්න බැරි වුණානේ. ඔව් ඔව් සාමාන්‍ය පෙළ කියන විභාගෙ ලියන්නෙ මේ අවුරුද්දෙ තමයි. බය වෙන්න දෙයක් නෑ කට්ට ඉන්නවනේ.

අපි හිතුවා එදා ෆිල්ම් එක බලන්න යන්න. උඹලා එහෙම යනවා නෙවෙයි. ඒවා නරක පුරුදු. කොහොමහරි අපි ඉස්කෝලෙන් පැන්නා. කවුරුවත් නැතිවෙනකම් ඉඳලා අපි පැන්නෙ. අනික මේ අපි ඉස්කෝලෙන් පැනපු පලවෙනි දවසත් එදා නෙවෙයි. ඒත් රහල් සර් එදා උඩ තට්ටුවේ ඉඳන් බලාගෙන ඉඳලා. පහුවෙනිදා අපි හැමෝටම ලොකු සර් එන්න කිව්වා. අපිව පේලියට හිටගන්න කිව්වා. අද නම් අම්බානෙකට කන්න වෙනවා කියාලා අපි දැනගත්තා. මොකුත් ඇහුවෙ නෑ පිලිවෙලකට ලොකු සර් නෙලාගෙන ගියා. අන්තිමට හිටියෙ විමලෙ. “ශිෂ්‍ය නායකයෙක් හැසිරෙන විදිය ඔහොමද” ලොකු සර් විමලෙගෙන් ඇහුවා. විමලෙ එදා කිව්ව දේ අපිට හිතාගන්න බැරි වුණා. “සර් මම ඊයෙ ඉස්කෝලෙ ආවෙ නෑ, මම මොනවත් දන්නෙ නෑ.” අපෙනුත් ඇහුවා විමලෙ හිටියෙ නැද්ද කියලා අපිත් නෑ කිව්වා. ඇත්තටම ඌ එදා ආවෙ නෑ. ගුටි කෑවටත් වඩා එදා රිදුනෙ හිතට. එතෙක් එහෙම කර පළවෙනිය විමලෙ. ඊට කලින් කවදාවත් එහෙම දෙයක් වෙලා නෑ.අපිට මාර අප්සට්.

එදායින් පස්සෙ විමලෙ අපේ සෙට් එකත් එක්ක හිටියෙ නෑ. විමලෙට වුණු දෙය ගැන අපිටත් හිතාගන්න බෑ. අපි එදා විමලෙට බැන්නෙවත්, නෝන්ඩි කරේවත් නෑ.විමලෙ එහෙම කරපු එක ගැන මොකුත්ම කිව්වෙවත් නෑ. ඌ සමහර විට හිතන්න ඇති අපිත් එක්ක හිටියොත් එයාගෙ හැමදේම නැතිවෙයි කියලා. පට්ට දුකයි. දැන් අපේ සෙට් එකේ පස් දෙනයි.

දැන් විමලෙ ඉන්නෙ තනියම. ඒ සිද්ධිය වෙලා අදට සති 2ක් විතර ඇති. එදා සීන් එකෙන් පස්සෙ අපි සෑහෙන්න අවුලෙන් හිටියෙ.

දැන් ගණන් පීරියඩ් එක. අපිට ගණන් ඉගැන්නුවෙ තිමිලා ටීචර්. එක පාරටම ෆෝන් එකක් රින්ග් වෙන්න ගත්තා. විමලෙ හිටියෙ අපිට ඉස්සරහ පේලියේ. විමලෙ කලබල වුණ පාරට අපි දැනගත්තා ඒ ඌගෙ ෆෝන් එක කියලා. ඌ අම්බානෙකට බයවෙලා. අපේ එකෙක් වැරැද්දක් කරත් සෙට් එකම කලා වගේ තමයි. අපි සහෝදරයො වගේ කියලා කිව්වනේ. ඒත් විමලෙ එදා තනියම. “කාගෙද ෆෝන් එකක් රින්ග් වෙන්නෙ.” තිමිලා ටීචර්ට අම්බානෙකට තදවෙලා. මම පුටුවෙන් නැඟිට්ටා. නැඟිට්ටා නෙවෙයි නැඟිටුණා. කට්ටා, අයියා,රෙඩී, පොඩ්ඩා, ඒ වගේම විමලෙත් ඒත් එක්කම වගේ නැඟිට්ටා. මාර සතුටුයි. කියාගන්න වචනෙ නෑ. අපේ හැමෝගෙම ඇස් වලත් කඳුලු. අද තමයි ලොකු සර්ගෙන් හොඳට කන්න ආසාවෙන්ම යන දවස. උඹත් අපේ එකෙක් විමලෙ.

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related post