එයා මනේෂි. එයාව හරියටම මම අඳුරගත්තෙ කැම්පස් එකේදි. ආඩම්බර වගේ පෙනුනට එයා එහෙම නෑ. මම කැම්පස් එන්න කලින් එයාව දැකලා තිබුණා. කොහේද කියලා කිව්වොත් ඔයා දන්නෙ නැතුව ඇති. මීට අවුරුදු දෙකකට විතර කලින් රජයේ කැම්පස් වලට තේරුණ ළමයින්ට නායකත්වය පුහුණුවක් ලබා දුන්නා. දැන් කැම්පස් යන අයට නම් ඒ අවස්ථාව ලැබෙන්නෙ නෑ. ඒත් එදා අපි නම් ඒකෙන් ගොඩක් දේවල් ගත්තා. ඒ අතින් අපි හරි වාසනාවන්තයි. මනේෂි මුලින්ම දැක්කෙ එහේදි. ඒ දවස්වල අපි හිතාගන හිටියෙ එයා හරි ආඩම්බරයි කියලා. අපේ එහේ සෙට් එකේ සෑහෙන්න කොල්ලො ට්‍රයි කරා එයාව දාගන්න.මාත් පොඩි ට්‍රයි එකක් දුන්නා තමයි. ඒත් කාටවත් ඒක කරන්න බැරි වුණා. ඔයාත් එයාව දැක්කොත් ෂුවර් එකටම ඔයාත් එයාගෙ ලස්සනට පිස්සු වැටෙනවා. ඒ තරම් එයා ලස්සනයි. හිනාවෙනකොට පිස්සු හැදෙනවා. එයා දිහා බලාගෙන අවුරුද්දක් විතර ඉන්න පුළුවන්. එයා අඳින්නෙත් එයාගෙම විදියකට. එයා තදට තදේ කලිසම් හිරකරගෙන ඉන්නවා මම නම් කවදාවත් දැකලා නෑ. බිම හෑවෙන නොගෑවෙන තරමට දිගට සාය, කොණ්ඩෙ ගොතලා යටින් චූටි කොණ්ඩ පටියකින් බැඳලා . හරියටම කිව්වොත් එයා ආශකී 2 එකේ ශ්‍රද්ධා කපූර් වගේ. පිස්සු නොහැදි හිටියොත් තමා පුදුම.

අපි එකම කැම්පස් එකකට සෙට් වුණේ අපේ අවාසනාවටද වාසනාවටද කියලා කියන්න නම් දන්නෙ නෑ. මුල් දවස් වල නම් එයා එක්ක වැඩියෙන් කතා කරන්න වුණේ නෑ. සීනියර්ස් ලා, අපේ බැජ් එකේ අය හැමෝම එයාත් එක්ක කතා කරන්න පොර කනවා වගේයි මට දැනුණෙ. ඒ නිසා මම වැඩේ අත ඇරියා. කොල්ලො දාහක් ට්‍රයි කරත් එක්කෙනෙක්ට විතරයිනේ එයාව ලැබෙන්නෙ. ඒ කෙනා මම නම් නෙවෙයි කියලා මම තේරුම් අරගෙන තිබුණෙ. මම ගැන කියන්න අමතක වුණානේ. එයා මට කැමති වෙන්න කිසිම හේතුවක් තිබුණෙ නෑ.රූපේ, මොළේ හැම දේකින්ම එයා මට වඩා ගොඩාක් ඉස්සරහෙන් හිටියෙ.
සෙකන්ඩ් ඉයර් ෆස්ට් සෙමෙස්ටර් එකේ දවසක්. දවස හරියටම කිව්වොත් සැප්තැම්බර් 10 වෙනිදා. අපිට ඒ වෙලාවෙ ලෙක්චර්ස් තිබුනෙ නෑ. ගල් බැම්මෙ වාඩි වෙලා මම ඇස් වහගෙන සිංදුවක අහ අහ හිටියෙ. කවුරුහරි මං ලඟ වාඩි වුණා. රෝස මල් සුවඳක්. මම ඇස් දෙක ඇරලා බැලුවා. එතන හිටියෙ මනේෂි.
“මම වාඩිවුණා කමක් නැද්ද?” ඒ වෙලාවෙ සුරංගනා ලෝකයකට ගියා වගෙයි මට දැනුණෙ.
“ඔයා වාඩිවෙලානෙ මගෙන් අහන්නෙ වාඩිවෙන්නද කියලා.” මම කිව්වා.
“ඒකත් ඇත්ත.” එයා හිනා වෙවී කිව්ව හැටි මට අදටත් මතකයි.
“මට පොඩ්ඩක් ඔයත් එක්ක කතා කරන්න පුලුවන්ද?” එයා එහෙම ඇහුවෙ අපි එයත් එක්ක කතාකරන්න කොච්චර ආසයිද කියලා නොදැන.
එයා බෑග් එකෙන් මොකද්ද ගත්තා. ඒක මොබයිල් ෆෝන් එකක්. ටික වෙලාවකට පස්සෙ එයා ෆොටෝස් වගයක් පෙන්නුවා. ඒ අපේ ලීඩර්ෂිප් කෑම්ප් එකේ ෆොටෝස්. ඒකෙ තිබුණ ෆොටෝස් දැකලා මට හිතාගන්න බැරි වුණා. එතන වැඩියෙන්ම තිබුණෙ මගේ ෆොටෝස්.
“කාගෙන්ද මේවා ඉල්ලගත්තෙ?” කිසි දෙයක් හිතාගන්න මට බැරි වුණා.
“ඕවා ගත්තෙ මම” එයා හිනාවෙවී කිව්වෙ හරියට පුංචි ළමයෙක් වගේ.
අහන්න ප්‍රශ්න ගොඩක්. මොකුත්ම හිතාගන්න බැරි වුණා.
“ මම දන්නෙ නෑ ඔයාට ඇයි මම ආදරය කරන්නෙ ඇයි කියලා. ඇත්තටම මම දන්නෙත් නෑ මේකටද ආදරය කියන්නෙ කියලා. ඔයා ගැන හිතන්න පටන් ගත්තෙ ඔයා දැකපු දවසෙ ඉඳන්. මම දන්නෙ නෑ ඒ ඇයි කියලා. මට ඔයාව හැම වෙලේම මතක් වෙනවා. දවසක් හරි ඔයාව නොදැක්කොත් මට ගොඩක් දුකයි. ඔයාත් මගෙ දිහා බලන් ඉන්නවා මම ඕන තරම් දැකලා තියනවා. මෙච්චර කල් බලන් හිටියා ඔයාම මගෙන් අහනකම්.” එයා එක දිගට කියවගෙන ගියා.
“ඔයා මට ආදරෙයිද?” මාව තුම්මුනින් වැටුණා වගේ. ඇඟ සීතල වෙලා. ආදරය කෙසේ වෙතත් එයාට පිස්සු වැටිලා නම් හිටියා. ඒ වෙලාවෙ මට නොහිතුන දෙයක් නෑ. “මට කල් ඕන ඒ ගැන හිතන්න”. “අපි යාළුවො වගේ ටික කාලයක් ආශ්‍රය කරමු.” “අපි ගැලපෙනවද” එහෙම අහන්නත් හිතුණා. කෙලින්ම කැමතියි කිව්වොත් ගතියක් නෑනෙ. කොහොම හිතුවත් මම කියන්න කලින් එයා තේරුම් ගන්න ඇති. එයා හිනාවෙලා බිම බලාගත්තා. මම නැගිට්ටා. එයා හිතුවෙ මම මොකුත් නොකියා යන්න හදනවා කියලා. ඇත්තටම මම යන්න නෙවෙයි හැදුවෙ. මේ හීනයක් නෙවෙයි කියලා හරියටම තහවුරු කරගන්න.

ආදරයට ආදරය විතරයි ඕන. හැමදේම ආදරයට යටයි කියලා එයා මට තේරුම් කරලා දුන්නා. අපි ගොඩාක් ආදරෙන් හිටියා. ඒත් සල්ලි එක්ක අපේ ආදරයට සටන් කරන්න ලේසි වුණේ නෑ. අපේ තාත්තා ගොවිතැන්, අම්මාට රස්සාවක් නෑ. එයාලත් එක්ක බලනකොට අපි ගොඩක් දුරයි. ඒත් එයා කිව්වා කොහොමහරි ඩිග්රිය ගත්තම අපේ සම්බන්ධයට කැමති වෙයි කියලා. ඒත් මම දැනගෙන හිටියා ඒක කරන්න බැරි දෙයක් කියලා. “ලොකු මිනිස්සුත් එක්ක හැප්පෙන්න එපා” කියලා අම්මා මම කැම්පස් එන මුල් දවසෙ කිව්වා මට මතකයි. ඒත් කවුරු මොනා කිව්වත් මම දන්නවා එයා මට ඇත්තටම ආදරය කලා කියලා. එයා තමයි ආදරය මොකද්ද කියලා මට කියලා දුන්නේ. අපි යාළු වුණ මුල් දවස්වල කොල්ලොත් මට කිව්වා ඕක හරියන්නෙ නෑ. ඕක නවත්තලා දාන්න කියලා. ඒත් එයා මට කවදාවත් කිසි වරදක් කරේ නෑ. අදටත් එහෙමමයි. එයාට මේ වෙලාවෙ කරන්න කිසිම දෙයක් නෑ කියලා මම දන්නවා. එයාත් මම වගේ දැන් හිතනවා ඇති. එයා මට ආදරය කලා. මම එයාට ආදරය කළා. මම දන්නෙ එච්චරයි.
අද මහේෂි මට සදහටම නැති වෙනවා. අද එයා කසාද බඳිනවා. මටත් එයා ඉන්විටේෂන් කාඩ් එකක් එවලා තිබුණා. ඒත් එයා දන්නවා අද මම එන්නෙ නෑ කියලා. මට එන්න බෑ කියලා. සමහරවිට එයා ගැන තවත් බලාපොරොත්තු තියාගන්න එපා කියලා නොකියා කියන්න වෙන්න ඉන්විටේෂන් කාඩ් එකක් මටත් එව්වෙ.
…………………………………………………………………………………………………………………………………………………………………………
සත්‍යය කතාවක් ඇසුරින්

<යශෝධා ගුණරත්න>

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related post