මා හැර ගිහින්

එයා මට ආදරෙයි කියපු දවස මට තාම මතකයි. එයා එදා ඇඳගෙන හිටියෙ සුදුපාට සල්වාර් එකක්. ඒකටම ගැලපෙන්න පොඩි මාලයක්. හරියට සුරංගනාවියක් වගේ. මගේ ලියුමට උත්තරයක් එච්චර ඉක්මනින් ලැබෙයි කියලා හිතුවෙ නෑ. මම වාඩි වෙලා හිටියෙ කැන්ටිමේ. වැඩිදෙනෙක් ඒ වෙලාවෙ එතන හිටියෙ නෑ. එයා ලියුම මේසෙ උඩින් තියලා ගියා. මට එක පාරටම හිතාගන්න බැරි වුණා. මම හැරිලා බැලුවා. එයාත් හැරිලා මාගෙ දිහා බැලුවා. ලැජ්ජාවට රෝසපාට කම්මුල් රතු පාට වෙලා. එහෙම තමයි අපේ ආදර කතාව පටන් ගත්තෙ.
අපි ගොඩාක් ආදරයෙන් හිටියා. ඒත් අපේ ආදරය පටන් ගෙන අවුරුදු 2ක් විතර යනකොට එයා ටික ටික වෙනස් වෙන්න ගත්තා. ගොඩක් වෙලාවට ෆෝන් බිසී, අපි මුණගැහුණෙත් සතියට එක පාරයි වගේ. ඒ ආවත් එයා කලේ මාව තරහ ගස්සන එක. නිදහසට හේතු කිව්වෙත් නෑ. එයා ගොඩක් වෙලාවට නිශ්ශබ්දව තමා හිටියෙ.
ටික දවසක් යනකොට මට තේරුණා එයා මාව මගහරිනවා වගේ. දවසක් මම එයාගෙන්ම ඇහුවා ඇයි එහෙම කරන්නෙ කියලා. එදාත් වෙනදා වගේ මොකුත් නොකියා බිම බලාගෙන හිටියා. ඒ වෙලාවෙ මට මාව පාලනය කරගන්න බැරි වුණා. ඇත්තටම මට ගොඩක් තරහ ගියා. එයාගෙ රෝස පාට කම්මුල් රතු පාට වුණා. එදා වගේ ලැජ්ජාවට නෙවෙයි මගේ කම්මුල් පාරට. එයා මට එහෙම කතා කරපු පළවෙනි දවස එදා. එයාටත් ගොඩක් තරහ ගියා. “ අදින් පස්සෙ අපි අතරෙ කිසිම සම්බන්ධයක් නෑ. මට ආයෙ කරදර කරන්න එපා.” එයා එහෙම කිව්වෙ මොන හිතකින්ද කියලා මට හිතාගන්න බැරි වුණා. එදායින් පස්සෙ අපි හමුවුණෙත් නෑ. කෝල් කරෙත් නෑ. බැරිම තැන මම එයාලගෙ ගෙදර ගියා. ඒත් ගේට්ටුව ලොක් කරලා තිබුණෙ. මට කරගන්න දෙයක් හිතාගන්න බැරි වුණා.

ටික ටික මම එයා නැතුව ජීවත් වෙන්න පුරුදු වුණා. පුරුදු වුණා නෙමෙයි පුරුදු වෙන්න වුණා. අදට අපි වෙන්වෙලා මාස 8ක්. කාලෙකට පස්සෙ මම අද ඊමේල් බලන්න ගියා. එතකොටයි දැක්කෙ එයා මට ඊමේල් එකක් එවලා. මට හිතාගන්න බෑ. ඒත් මගෙ සතුට වැඩි වෙලාවක් තිබුණෙ නෑ. ඒක එවලා තියෙන්නෙ මාස 8කට කලින්.
“සුදූ, ඔයා ඉන්නෙ ගොඩක් තරහෙන් කියලා දන්නවා. ඒත් මම එහෙම කලේ ඔයාව නැතිකර ගන්නවත් ඔයාව රිද්දන්නවත් නෙවෙයි. ඔයාට මාව එපා කරවන්න. මට තව වැඩිකල් ජීවත් වෙන්න බෑ. මම ගෙනාපු ආයුෂ දැන් ඉවර වෙන්න ලඟයි. ඔයාට මේ කිසි දෙයක් කිව්වෙ නැත්තෙ ඔයාට ඒක දරාගන්න බෑ කියලා මම හොඳටම දන්න නිසා. ඔයා මේ ගැන කවදාවත් දැන ගන්න ඕනි නෑ කියලයි මම මුලින් හිතුවෙ. නොකිය හිටියොත් ඔයා මම කවදාහරි ඒවි කියලා බලාපොරොත්තුවෙන් ඉදීවි. හැමදේම කළේ ඔයාට තියන ආදරේට. එදා කම්මුල් පාරට ඔයාත් එක්ක පොඩ්ඩක් වත් තරහ නෑ. මම දන්නවා මම එහෙම වෙනස් වුන එක ඔයාට දරාගන්න බෑ කියලා. ඔයා දැන් මාව අමතක කරන්න සුදූ. ඊළඟ ආත්මේදි මෙහෙම අපිව වෙන්කරන්න මාරයාට බැරි වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.
බුදුසරණයි.
මම ඔයාගෙ මීනු.”

ඇයි එයා එයාගෙ ආයුෂ ඉවරයි කිව්වෙ, මොනවද එයාට වුණේ, දැන් කොහේද ඉන්නෙ, මේ කිසිම දේකට මම උත්තර දෙන්න කවුරුත් නෑ. මගේ ඊමේල් එකට පිළිතුරක් එවනකම් මම හෙටත් බලාගෙන ඉන්නවා.
……………………………………………………………………………………………………………………………………………………………………….

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related post