අ හිමි විය

හොඳටම කළුවර වැටිලා. මම කඩමුඩියේ පාර මාරු වෙලා එහා පැත්තට ගියා. හොඳ වැස්සක් වැහැලා වගේ. අඩිය ඉක්මන් කරලා මම බස් නැවතුම පැත්තට ආවා. බස් නෑ වගේ, අදත් කොටුවට යන්න බස් දෙකක යන්න වෙයිද දන්නෑ.

බස් එකක් ආවා. දුර වැඩි නිසාදෝ මට කොහෙටද කියලා බලාගන්න බැරි වුණා. “කොටුව කොටුව” කොන්දොස්තර මල්ලි කෑගහනවා. බස් එකත් පිරිලා සෙනග. මිනිස්සු අතරින් පොර කාගෙන මාත් බස් එකේ එල්ලුණා. කොන්දොස්තර මල්ලි ටිකට් ගන්න කියලා කෑගහනවා. මම එක අතකින් එල්ලිලා පර්ස් එක ගත්තා කියලා විතරයි මට මතක.

පහුවදා කොහොමහරි මම සිහිය එනකොට මම හිටියෙ ඉස්පිරිතාලෙ. කවුද මාව ඉස්පිරිතාලෙට ගෙනාවෙ? මට ඒ ගැන කිසිම මතකයක් තිබුණෙ නෑ. ගෙදර අය බයවෙලාත් ඇති ඊයෙ ගෙදර ගියෙ නැති නිසා . ඉස්පිරිතාලයෙ ඉදන් අපේ ගෙදරට වැඩි දුරක් නෑ. ඉක්මනට යන්න ඕනි.

ඈත ඉදන්ම මම දැක්ක අපේ ගෙදර කට්ටිය පිරිලා ඉන්නවා. පොඩි මාමලාත් ඇවිත්. ඇයි හදිසියේම? මොකක් හරි උත්සවයක්ද ? එතකොටයි එකපාරටම මට මතක් වුණේ.
පොඩි කෙලී ලොකු ළමයෙක් වෙලා වෙන්න ඇති. මගෙ පොඩි කෙලීත් දැන් ලොකු ළමයෙක්. මම අඩිය ඉක්මන් කරලා ගේ පැත්තට ගියා.

සුදු කොඩි මොකටද? මගෙ හිතට දැන් නම් බයයි. කාටද සුදු කොඩි? මම සෙරෙප්පු දෙක ගලවලා ගෙට ඇතුල් වෙනකොටම ඇහුණෙ සුදු නෝනගෙ කටහඬ. සුදු නෝන දරුවො දෙන්න බඳාගෙන විලාප තියනවා. කවුද මැරිලා තියෙන්නෙ? මම ඒ දැකපු දේ මට විශ්වාස කරන්න බැරිවුණා. එතන හිටියෙ මම. මම කෑගහලා සුදු නෝනට කතාකරා. මම තාම ඉන්නවා කියලා කියන්න මට ඕනි වුණත් කවුරුවත් මම දිහා බැලුවෙවත් නෑ
………………………………………………………………………………………………………………………………………………………………………..

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related post