සෙනෙහස කියන්නේ…?

අද මැයි මාසේ දෙවනි සතිය.අම්මාවරුන්ගේ දිනය…!හිත ගොඩක් ඈතට ගිහින් නතර වුණා.එතකොට මම දොලහ වසරේ.
…………………………………..

“විශ්වා ඉස්කෝලේ ඇරිලා පොඩ්ඩක් ගේට් එක ලඟ ඉන්නවද?”

“ම්ම්ම්…හවස පන්ති නම් තියනවා.”

“එහෙනම් පන්ති යන්න .ලේට් වෙයි.කමක් නෑ.”

“නෑ..කමක් නෑ..ඇයි මොකද ප්‍රශ්නයක් ද? “

“ඔව්…ප්‍රශ්නයක්..පස්සේ කියන්නම්.එකයි හවසට ඉස්කෝලේ ගේට් එක ලග ඉන්න කිව්වේ”

“හරි…මම ඉන්නම්”

……………………………………

ඒ දවස්වල අපේ ඉස්කෝලේ ලඟින් දක්ශිණ අධිවේගී මාර්ගය සකස් කරන කාලය.පාර පුරා දූවිල්ල අවුස්සගෙන වාහන එහෙන් මෙහෙන් දුවනවා.මම එනකන් බලාගෙන මගේ යෙහෙලිය ඉස්කෝලේ ගේට්ටුව ලග බලාගෙන හිටියා.ඇය ගණිත අංශයෙත්, මම වාණිජ අංශයෙත් නිසා අපි නිතර හමු වෙන්නේ නෑ වැඩිය.හමුවුනත් නිදහසේ කතා කරලා නෑ.ඒත් යහළුකම නම් හරිම නැවුම්.ඇය මගේ කුඩා කාලයේ ඉදලම යෙහෙලියක්.

“ඇයි මොකද?”

මම ඇය ලගට යන ගමන් හෙමින් ඇහුවා.ප්‍රශ්නයක් නම් ඉස්කෝලේ ඇතුලේ කොන්ක්‍රීට් බංකුවක වාඩි වෙලා කතා කරන්න කියලා මම ඇයට යෝජනා කලා.

“නෑ…එන්න පුලුවන් ද මගේ එක්ක යන්න”

“කොහේට ද?”

“එන්නකෝ…එයා දැනටමත් ඇවිත් ඇති”

ඇය මාව ඇඳගෙන ගියා ඉස්කෝලේ බස් නවත්වන හෝල්ට් එක ලගට.ලමයි අස්සේ විමසිල්ලෙන් ඇය කෙනෙක් හොයනවා.

“ආහ්…අර ඉන්නේ අර කාර් එකක් ලග හිටගෙන”

“කවුද..? අර රතු කාර් එක ලඟ ද?”

“ඔව්ව්..එන්න යන්න…”
ඊට පස්සේ කාර් එක ලඟ ඉන්න කෙනාට ඇය මාව හදුන්වා දුන්නා”

“මේ විශ්වා…එතකොට විශ්වා මේ ඉන්නේ මගේ අම්මා “

“ආහ්…ආන්ටී…මම කලින් දැකලා තිබුනේ නැහැ නේ ආන්ටිව”

“ඔයා කොහොමද දකින්නේ විශ්වා..මම දැක්කෙත් ඊයේ නේ මෙයා”

මගේ යාලුවා එහෙම කියද්දී මම යාලුවගේ අත හෙමින් මිරිකුවා.මට කියන්න ඕන වුණා එහෙම කතා කරන්න එපා කියලා.ඒ ආන්ටිගේ මූණ කදුළු වලින් පිරිලා රතු වුණා මම දැක්කා.

“ඊයේ මොකට ද අපේ ගෙදර ආවේ…තාත්තට පපුවේ අමාරුව හැදිලා ඊයේ කරාපිටියේ ඉස්පිරිතාලේ නැවැත්තුවා.අනේ …පින් සිද්ධ වෙයි අම්මේ….මගේ තාත්තා මට නැති කරන්න එපා.ඔයා නැතුවට මට කමක් නෑ..මට මගේ තාත්තා නැති කරන්න එපා”

වේගයෙන් කතා කරපු මගේ යාලුවා ඊට පස්සේ අඬන්න ගත්තා.අර ආන්ටිත් අඬන්න ගත්තා.මට කරගන්න දෙයක් තිබුන් නෑ.මට මැදිහත් වෙන්න තේරුණෙත් නෑ.

“අපි යමු විශ්වා…”

“පුතා …යන්න එපා…පොඩ්ඩක් ඉන්න”

“අපි යමු විශ්වා ..යමු යන්න..”මගේ අතින් ඇඳගෙන මගේ යාලුවා ආපස්සට යන්න යනවා.

“දුව මගේ පුතාට නවතින්න කියන්න”

මම මගේ යහෙලියගේ අත තදින් ඇදලා නතර කරගත්තේ මම කතාව හරියට දන්නේ නැතුවට අම්මා කෙනෙක්ගේ කඳුලු ලඟ මම ගොඩක් අසරණ වුණ නිසා.

“පුතේ මම ආයෙත් හෙට රට යනවා.ආයෙත් අපි කවදා හමුවෙයි ද මන්දා” ඒ ආන්ටි ආයෙත් අඬන්න ගත්තා.

“ඉතින් මෙච්චර දවස් හිටියේ මම නැතුව ඔයා”

මගේ යෙහෙලියගේ වචනත් එන්න එන්නම කඩු පාරවල් වගේ .

“යමු යන්න විශ්වා..”

මගේ යාලුවා මාව ඇදගෙන ආයෙත් යන්න හදනවා.

“දුව මේක මගේ පුතාට දෙන්න”
ඒ ආන්ටි මට පුන්චි කවරයක දාපු කිසියම් දෙයක් දුන්නා.

මගේ යලුවා මගෙ අතින් ඒ කවරය උදුර ගත්තා.ඒකේ ඇතුලේ තිබුනේ බැංකු පොතක් සහ මගේ යහලුවට පසුව අයිති වෙන පරිදි සකස් කරපු ඉඩම් ඔප්පුවක්.

“මම දැන් වෙනකන් ඔයාට අම්මා කියුවා.ආයෙත් කවදාවත් අම්මා කියන්නේ නෑ ඔයාට.ඔයා මගේ තාත්තගේ අදාරේ විතරක් නෙවී අම්මේක්ගේ දරුවෙක්ට තියන ආදරේත් දැන් කෑශ් කලා එහෙනම්.අනේ මට ඔයා පේන්න බැහැ.”

මගේ යාලුවට යකා ආවේශ වුණා වගේ.ඇය ඒ සේරම අර ආන්ටිගේ පැත්තට විසි කරලා දාලා මාවත් ඇදගෙන ඉස්කෝලේ පැත්තට ආයෙත් දුවගෙන ගියා.මම කිසි දෙයක් හිතා ගන්න බැරි වෙන තරමට ම එවෙලේ අසරණ වෙලා හිටියේ.
…………………………………….
“අර ඔයාගේ අම්ම ද? ඇයි අම්මට එහෙම කතා කලේ.ඇයි අම්මා හමු වෙන්න මාව එක්කන් ගියේ” මට ප්‍රශ්න වැලක් තිබුනා.

ඇය කදුළු පිහින ගමන් මට මෙහෙම කියන්න ගත්තා.

“මේකයි…මට අම්මාට වඩා ඔයා විශ්වාසයි.එයා මාව එක්කගෙන යන්න හැදුවොත් ඔයා මොනවා හරි කරලා මාව බේරගනී කියල හිතුණා මට”

“හ්ම්ම්ම්….අඩන්න එපා…”

“හ්ම්ම්..එයා ඊයේ බාප්පා එක්ක අපේ ගෙදර ආවා.ආත්තම්මා එයාව එලව ගත්තා.තාත්තට පපුව අමාරුව හැදුනා ඊට පස්සේ..තත්තා බලන්න හවසට කරාපිටියේ යන්න ඕන.මට මගේ තාත්තත් නැති වෙයි ද විශ්වා….???”

“නෑ..නෑ..තාත්තට මොකුත් වෙන්නේ නෑ…බය වෙන්න එපා.”

“හ්ම්ම්ම්…අනේ විශ්වා…අම්මා නැතුව තාත්තා මාව හැදුවේ හරි අමාරුවෙන්…අපි ඉස්සර කොලඹ හිටියේ.තාත්තා ඒ ගෙදර ඉදිද්දී අම්මා මතක් වෙන නිසා ඒ ගේ විකුණලා දාලා ගාල්ලේ මහ ගෙදර ආවේ විශ්වා..අම්ම වටින්නේ නෑ මට විශ්වා..අම්මගේ සල්ලී මට වටින්නේ නෑ විශ්වා…ඒත් මට තාත්තා සෑහෙන්න වටිනවා..යනතම් අවුරුදු දෙක තුනේ ඉදලා මාව තාත්තා හැදුවේ…තාත්තට ඉස්සර වයස විසි නවයක් විතර වෙන්න ඇති.අම්මා තාත්තට වඩා සල්ලි තියන කෙනෙක් බැන්දා තමයි.ඒත් තාත්තා මම වෙනුවෙන් ම ආයෙත් කසාද බැදලා වත් නැහැ නේ…අම්ම ද තාත්ත ද එතකොට විශ්වා මට වැඩිපුර වටින්නේ…..ආහ්…කතාකරන්න ..කියන්න විශ්වා…???

(ලෝකේ ඉන්න සමහර ලමයින්ට ජීව විද්‍යාත්මක තාත්තා කෙනෙක් මිසක සුජාත තාත්ත කෙනෙක් නෑ.ඒත් හැමදාම සුජාත මවක් ඉන්නවා. මව් පදවිය එදා මෙදා තුර සුජාතයි.ඒ සුජාත බවට ගෞරයක් තියෙන්න ඕන හැම තැනදිම

සත්‍ය කතාවකි.කරුණාකර මේ පිලිබදව පෞද්ගලිකත්වය විමසීමෙන් වලකින්න.පින්තූරය අන්තර්ජාලයෙනි.)

..විශ්වා…

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Wishwarangi

Related post