වියපත් සුපෙම්වත්

වස්තුව මගේ පෙම්පත්වල පැණි පොකුර
මම පිටු ගණන් ලියූ ආදර කොලොප්පම
කියවා මැණිකේ ඇස් රතු කර හිණාවුන
මතකද එදා දොල ලග පාරේ අයින

සුදු නැතුවාට කුරහන් මල වගේ මට
මොකටද අනේ රත්‍රන් අර මාල හත
පුන් පෝ සරා සද පායපු රැයක් මැද
කැන්දම් ගියෙමි හොර රහසේ නිසොල්මන

අඩු වැඩි නැතුව දරුවන් දුසිමක් හැදුවා
පොඩි පුතු උපාසක සසුනට පූජ කලා
මැද පණ්ඩිතයා මතකයි කැම්පසුත් ගියා
මහ උළු ගෙදර උළු ගනිනවා ලොකුම එකා

කෑවත් මාලු ඉද හිටලා බත් එක්ක
මොකටද බොරුව ලේබල නම් බීලා නැත
පස් පව් කරේ නෑ සත්තයි එහෙම මම
යැව්වා මැණිකේ හැම පෝයෙම සිල් ගන්න

අතපය හයිය කාලෙදී නම් නැත අලස
එක හුස්මකට හෑවයි යායක් තනිව
හැම මාසෙකම කීයක් හරි එකතු කර
මල් රෙද්දක් ගෙනත් දුන්නා මම තෑග්ගට

කාලය ගෙවීගොස් වියපත් වූ මෙදින
අත්වැල තද කරන් හයියෙන් සුකුමාල
මගේ අම්මා වගෙයි හරියට හිත හයිය
හිතුණට හාදුවක් දෙන්නේ කොහොම මම

-විශ්වා-
(පින්තූරය උපුටා ගැනීමකි)

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Wishwarangi

Related post