හඳට ලියමි (To The Moon)

මිනිස්සු කියනවා උඹ සෞම්‍යයිලු. උඹ සිසිල දෙනවලු. උඹ නැත්නම් රෑ කලුවරයිලු. උඹ නිසංසලයිලු. උඹ ප්‍රියංකරයිලු. ඒ විතරක්ද? මිනිස්සු කාන්තාවන්ට සමාන කරන්නෙත් උඹවනෙ. සඳ මිතුරි, සඳ රැජිණි, සඳසාවි, සඳවතී වගේ උඹ ඉන්න සින්දු කීයක් තියනවද? ඒ නිසා වෙන්න ඇති උඹ ඔච්චර ආඩම්බර- තරු ගොඩක් වටේට තියාගෙන. මිනිස්සු කියනව උන් පන්සල් යන්නෙ උඹ නිසාලු. මාළු අල්ලන දවස් හොඳ වෙන්නෙ උඹ නිසලු. තනු ගී මැවෙන්නෙ උඹ නිසාලු. ප්‍රේමය වැඩෙන්නෙ උඹ නිසාලු. එත් උඹ එකක් මතක තියාගනින්. මං නැතුව උඹට හෙටක් නෑ. පුළුවන්නම් මිනිස්සුන්ට කියලා දීපං උඹ දවසින් දවස ටික ටික ලොකු වෙන්නෙයි ටික ටික පොඩි වෙන්නෙයි මං නිසා කියලා. උන් හිතන් ඉන්නෙ ඒ උඹේ ආඩම්බරකමේ හැටියක් කියලා. පව් ඒ අසරණයෝ රැවටිලා. උන්ට කියලා දීපං උඹ දිලිහෙන්නෙ මං නිසා කියලා.උඹට තියෙන්නේ මගේ එළිය අරන් ටිකක් පාට වෙන්න විතරයි. උඹ එන්නෙ නැති දවසෙවත්, උඹ එන දවසෙවත් මිනිස්සු උඹට බනින්නෙ නෑ. මට එහෙමද? ආවොත් රස්නෙ වැඩියි කියනවා, නාවොත් සීතලයි කියනවා. පරක්කු වෙලා එන්න කියනවා. ඉක්මනට යන්න කියනවා. උඹට ඉක්මනට එන්න කියනවා, ආයෙ යන්න එපා කියනවා. උඹ දන්නෙ නෑ මං අඬනවා. මගේ කඳුලු බලන්නවත් කවුරුත් මං දිහා බලන්නෙවත් නෑ. අම්මෝ සැරයි කියනවා. ඇස් නරක් වෙයි කියනවා. කෙලින් බලන්න එපා කියනවා. ඒත් මගෙන්ම එළිය වෙච්ච උඹ දිහා බලං උන් මුළු රෑම ගෙවනවා. උඹ හෙන ආඩම්බරෙන් හිනාවෙනවා නේද එතකොට. උගන්නපං මිනිස්සුන්ටමං නැත්නම් උඹත් නිකංම නිකං බෝලයක් වගේ එකක් විතරයි කියලා. උගන්නපං මිනිස්සුන්ට මං නැත්නම් උඹ විතරක් නෙවේ උනුත් නෑ කියලා. මිනිස්සුන්ට කියපං උන් තවත් මට මෙහෙම සැළකුවොත් මගේ ඉවසීමේ සීමාවත් ළඟදිම පනියි කියලා, එතකොට මිනිස්සුන්ට ගොඩාක් රිදෙයි කියලා. උන්ට කියපං උඹට වගේම මටත් ආදරේ කරන්න කියලා. මතක තියාගනින් මං “ඉර” කියලා.

හැඟුම – චනිර දුලංජය රණතුංග

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related post