අහිමි ඇය…….

මං අන්තිම දවස්වල බණ්ඩාර සර් ගේ පන්ති ආවේ උබව බලන්න. බාගෙට අවුල් වුණ උබේ කොන්ඩෙට යටින් උඹේ මූණ පේනකොට,මං ඒකට හරි ආස කලා. හැමදාම පංති තියන දවස්වලට කොහුවලට හොරණ ඉඳන් බස් එකේ ආවට පස්සේ, ඒ මහන්සිය වාශ්ප කලේ උඹේ අහිංසක ඇස් දෙක. කැලණි හෝල්ට් එකෙන් බැහැලා කහඉර මාරු වුණ වෙලාවේ ඉඳලම මං හොයන්නේ උඹව. මට හැමදාම ඕනි වුනා එහෙම ඇවිත් උඹට පේන්න ඉඳලා එක දා ගන්න.

එකට හිටපු උන් වැල්ලවත්තේ බීච් එකට හැරෙද්දි,MC එක පැත්තට යද්දි මට ඕනි වුනේ පංතියට එන්න. ඒ පාඩම අහගෙන ඉන්න නම් නෙමෙයි, වෙන උන්ට වඩා උඹට පේන දුර ඉඳගෙන උඹේ ඇස් දෙක මගෙ පැත්තට ගන්න.

ඉන්ටවල් එක දුන්න ගමන් බොරු වැඩක් මවාගෙන පිටිපස්ස හැරෙන ගමන් උඹ දිහා බලන්නේ, උඹත් බලන් ඉන්නවද බලන්න. අනේ දවස් කීයක්නම් බලන් හිටියද ? බඩකිනි නැති උනත් කැන්ටීන් එකට ගිහින් මාලු පාන් එකයි මයිලෝ එකයි අරන් ඇවිත් ආපහු උඹ දිහා හොරෙන් බලලා වාඩි වෙනවා.

පංති ඉවරවෙලා හෝල්ට් එකලග තියන කොට්ටම්බා ගහ යටට වෙලා යාලුවොත් එක්ක උඹ ආගිය දේවල් කතා කරද්දි මට හරි ඉරිසිය හිතුණා,කේන්ති හිතට ආවා. ඒ වෙන් කවුරුත් ගැන නෙමෙයි, එතනින් යන කොල්ලෝ ගැන. උන් මට වඩා උඹට ලගයි කියලා හිතුනා.

මීට මාස ගානකට කලින් උඹට දෙන්න කියලා මම ලියපු ලියුමත් තාම පර්ස් එකේ තියනවා.කොහොමින් කොහොමහරි මගේ ඒක පාර්ශ්වික ආදරෙත් එක්ක දින සති වෙවී,සති මාස වෙවී කාලය ගතවුණා. විභාගෙට වාඩි උනාට මගේ ඔලුවේ මුකුත් තිබුණේ නෑ. හිතුවත් වගේම මට විභාගේ කෙල වුනා, උඹ කැම්පස් සිලෙක්ට් වුණා. මට ඒක කිව්වේ, උඹත් එක්ක ඉන්න කලු කෙල්ල.

ඔය විදිහට මතක අමතක වෙද්දි උඹ විතරක් හිත ඇතුලේ ඇවිද්දා. මාස ගානකට පස්සේ මම, මහරගමට යන්න බස් එකට නැග්ගා. මැද හරියේ සීට් එකකින් වාඩි වුණ මම බස් එකේ ගිය සිංදුවත් තොල් වලින් මතුරන ගමන් හිටියා.

සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි….. මේ වසන්තය පුරා සිත නුඹට පෙම් කරයි…. මං නුඹ ආදරෙයි…… ඊලඟට ඇස් දෙක නතර කරපු දෙයින් මම ගල් ගැහුනා,වෙලාව විනාඩි ගානකට නැවතුනා වගේ……….. දෙයියනේ, ඒ උඹ. මං මුලින්ම අදුරගත්තේ, ඒ අවුල් වුණ කොණ්ඩෙන්. තාමත් එහෙම්මමයි.

පපුව හිරවුණා, මටම තනියම හිනාවක් ගියා….. කරන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව ලොකූ හුස්මක් අරන්, හෙමින් පහලට යැව්වා. මට මතක් වුණේ මං උඹට දෙන්න තියාගෙන හිටපු ලියුම. එහෙම්මම පර්ස් එකෙන් ඒක අරන්, සීට් එකෙන් නැකිටලා ඉස්සරහට ආවේ ඒක දෙන්න හිතාගෙන. උඹ හිටපු සීට් එකට ලං වෙනවත් එක්කම………………… උඹ එහා පැත්තේ හිටපු කොල්ලගෙ උරහිසට හේත්තු වෙලා, ඒ කොල්ලගෙ අතින් අල්ලා ගත්තා….

කියන්න මුකුත් ඉතුරු නොකරම ඒලෙවල් ප්‍රේමය නතර වුනා. එහෙම්මම පිටිපස්සට ඇවිත් පුරුදු සීට් එකෙන්ම වාඩිවුනා. වීදුරුව දිහා බලන් ඉද්දි,කාටත් හොරෙන් දකුණු ඇහෙන් වැටුන කඳුළු බිංදුව කම්මුල දිගේ ඇවිත් පහලට වැටුණේ ලෝකයක් වගේ.

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Kokila

Related post