පමා වෙන්නට පෙර

මල්ලී,

කරපු පිස්සු වැඩ ඔක්කෝම දැන් අහවරයි! එහෙම හිතෙනවා නේද? මේ දවස මේ මොහොත ගැන තමා අවුරුදු දෙකක් තිස්සේ පරණ තැටියක් වගේ, ගිරවියෙක් වගේ කිය කියා හිටියේ. දැන් ඉතින් ඉවරයි. ඔහොම ඇද උඩට වෙලා බලාගත්තු ඇත බලං හිටියා කියලා කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ.

සාමාන්‍ය පෙළ කියන්නේ මුළු ජීවිතේම නෙවෙයි, ඒක කඩඉමක් විතරයි. මං කියන්නේ ඒක  තුට්ටුවකටවත් වටින්නේ නැහැ කියල නම් නෙවෙයි. ඒක වටිනවා සමහර විට ඔයා ඔය හිතනවටත් වැඩියෙන් වටිනවා. ඒත් අසමත් උනාය කියල ජිවිතේ ඉතුරු හරිය කාලකන්ණි කරගන්නට තරම් වත්, ජිවිතේ නැතිකරගන්නට තරම් වත් ඒක වටින්නේ නැහැ.

අද ලොකු ලොකු තැන්වල ඉන්න අයගෙන් ගොඩක් අය මේ කඩඉම එක පාරින්ම ගොඩ දාගත්තු අය නෙවෙයි. එයාලාගේ දැක්ම, ජිවිතේ ජයගන්න ඕනෙයි කියන හැගීම එයාලට තියෙන්න ඇති.

දැන් ඉතින් ඔතනින් නැගිටින්න, එක රැයින් හැමදේම වෙනස් කරන්න බැහැ. අතහැරුණු දේ වලට දුක් වෙවී කාලය කනවට වඩා හොදයි නේද ඉස්සරහට මොනවද කරන්න ඕනේ කියල හිතන එක?

අවවාද දෙන්න නම් රොත්ත පිටින් ගෙදර ඒවී, ඔව් පාඩම් කරද්දී කහට උගුරක් වත් හදලා නොදීපු, පරණ ප්‍රශ්ණ පත්තරයක් වත් නොදීපු අයත්. ඔයා ඒවා ගැන හිතන්න එපා. මිනිස්සු නවත්තන්න අපිට බැහැනේ. මේ ජිවිතේ ඔයාගේ, අදවත් තීරණයක් ගනිං  මල්ලියෝ මෙහෙම්ම ජීවිතේ දියාරු කරනවද? නැත්නම් අර අපි හැමෝම හීන දකින ලොකු තැන ඉන්නවද කියල.

ඉස්සර වගේ නෙවෙයි මල්ලියෝ දැන් අනාගතේ තෝරාගන්න ගොඩක් ක්‍රම තියෙනවා, එක එක බොරු අටෝප පාඨමාලා  වලට රැවටෙන්නේ නැතුව තාත්තා හම්බ කරන එන සොච්චම බොරු කාරයින්ට යට නොකර හරි දේ තෝරාගන්න.

ඔය හැමදේටම කලින් ආපහු පාරක් විභාගේ ලිව්වනම් තමා හොද.

දැන් ඉතින් නැගිටපන් මල්ලි. ජිවිතේ නැවතිලා නැහැ.

ෆාතිමා බෙසූනා

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related post