අබීගෙන් ලිපියක්

සාමය හා සතුට උදාවේවා !

දයාබර පුතේ,

ඔයා හොදින් වග මම දන්නවා.. මේ අබීගෙ ප්‍රර්ථනා  වල ඔයා හැම වෙලාවකම ඉන්නවා. අල්ලාහ් ඔයාට යහපතක්ම කරාවී, පොඩි එකාගෙ මූණ මට නිතරම මතක් වෙනවා. ඒ හැම වෙලාවකම පපුව පිච්චිලා යනවා පුතේ. දැන් නම් එයා ලොකුත් ඇති,, ඔයාලා එනකල් බලන් ඉදලා මේ ඇස් හොදටම දුර්වල වෙලා ගිහින්..
පුතේ ඔයාට මතකද මගේ අතක එල්ලිගෙන ඔයා මාත් එක්ක ගමේ වැලි පාරවල් දිගේ කියව කියවා එනවා. අලී මාමාගෙ එළදෙන්නුගෙ කිරි දොවන කල් ඔයා බලන් එන්නව. කොච්චර ලස්සනද ඒ අතීතේ. කොල පාටින් දිළිසෙන වෙල් යාය දිගේ පුංචි අඩි තියන් අවිදන් යද්දි හමාදාම වගේ ඔයා ලිස්සල වැටෙනව බොරුවට,, ඇග පුරා මඩ නාගෙන හය්යෙන් හිනාවෙනවා. උම්මා ඒවා දැකලා මගේ පුතාට බනින විදිහ මතක් වෙනකොට මට තනියම හිනා යනවා පුතේ.. තනිවෙලා ඉන්න මට දුක සතුට බෙදාගන්න කෙනෙක් නැහැ හැම දේම වෙනස් වෙලා පුතේ. වැලි පාර දැන් තාර පාරක් වෙලා, කවුරුත් දැන් ඉස්සර වගේ කුබුරු හාන්නෙත් නැහැ, අලී මාමත් එයාගෙ පුතා එක්ක කොළබ ගියා,, ඔයාගෙ උම්මත් නැති උනාට පස්සේ ඔයාගෙ අබී මතකයන් එක්කම තනිවෙලා.
හැම දාම පල්ලි යද්දි හැර මිටෙන් තාර පාර ඇන ඇන, උජාරුවට ඔයාව කරේ තියන් ගිය හැටි මතක් වෙනවා, ඒ තරම් හය්යක් මේ මහලු හිතටත් ගතටත් දැන් නැහැ මගෙ පුතේ..
වෙලාවකට හිතෙනවා ම්ං තනි උනේ මගෙම වරදින්ද කියලා, නැහැ පුතේ මට ඕනේ උනේ මගේ පොඩ්ඩා ලෝකේ දිනනවා දකින්න,, ඔයා දන් නැහැ පුතේ,, ඔයාට වචන ‍තෝර ගන්නවත් තේරෙන්නේ නැති පුංවි දවස් වල මටත් වාසනාව උදා උනා ලොකේ දිනන්න යන්න, පුංචි ඔයාගේ අහිංසක මූණ දිහා බලාගෙනම මම ලොකේ එකතු කරා මිසක් ඔයාවයි උම්මාවයි තනිකරලා යන්න මට හිත හදාගන්න බැරි උනා,, මං දැකපු හීන මේ ගමේම බොද කරලා පා කරා මම. ඒ හීනම ඔයාගෙ ඇස් වල නලියද්දි මං සතු‍ටු උනේ මුලු හදවතින්මයි. මං නොදැකපු ලෝකෙ දිනන්න මගේ පොඩ්ඩව යැවිවෙ මම ලෝබ කමක් නැති සෙනෙහසින්. ඔයා ජීවිතේ එකතු කරනවා මම බලන් හිටියෙ අහිංසක ආඩ්ම්බරයකින්. “මගේ පුතා ලෝකේ දිනනවා….” මං මටම කියා ගන්නවා, සියලු ප්‍රශංෂා අල්ලාහ්ටමයි ! පුතා ලස්සනට ජීවත් වෙනව මේ අබීගෙ හදවතට දැනෙනව. ඔයාගේ සතුට ගැන හිතද්දි මගේ තනිකම දියවෙලා යනව. එකම ආසාවයි පුතේ ඉතිරි වෙලා තියෙන්නේ,, මේ ඇස් දෙක වැහෙන්න කලින් මගේ පුතාගේ පුංචි පවුල දැක ගන්න ඕනේ.. හැම දාම අල්ලාහ් ගෙන් ඉල්ලන්නෙත් ඒක..
පොඩි එකාට දැන් අවුරුදු  20ක් විතර ඇති නේද? මට තවමත් මතකයි  ඉස්සෙල්ලම අම්මර් ව වඩා ගද්දි ඒ පුංචි මුහුණෙ ඇදිල තිබුනු හිනාව. ගොඩාක් බලාපොරොත්තු හිතේ පොදි ගැහුන ඒ වෙලාවේ,, ඔයාව වගේම අම්මර් වත් කරේ තියගෙන මුලු ගම පුරාම ඇවිදන් යන්න,, ඔයාට පෙන්නපු හැම දෙයක්ම එයාටත් පෙන්නන්න. ඒත්, පුතේ, එය මට සීය කියන්න වචන අහුලද්දිම ඔයාල මෙහෙන් යන්න ගියා. මගේ හීනඔයාලගේ කකුල් වලට පැගෙන හැටි මම බලං හිටියෙ පිච්චෙන හදවතින්. කදුළු ඇස් අග නලියනව ඔයා දැක්කෙ නැහැ පුතේ. ඔයාගෙ කප්පරක් සතුට මේ දුප්පත් අබීගෙ කදුළු මයිම් කරේ නැහැ..වෑන් එකට නගින්න කලින් පුංචි එකා පැටෙලෙන කකුල් පොඩි වලින් දුවන් ඇවිත් මගේ කකුල් දෙකේ එල්ලුන වෙලවේ උනපු කදුලු තවම වේලිල නැහැ පුතේ. ඔයාල ගියා පුතේ මේ දුප්පත් අබීව දාලා,, ආපහු එනව කියල පොරොන්දු උනට තවමත් ඔයා ආවේ නැහැ ඔයාගේ අබීව බලන්න. ඔයාල ගිය වෑන් එක මගේ ඇස් මානෙන් ඈත් වෙද්දි උගුරෙන් පපුවට ඊයම් බරුවක් බහිනවා දැනුනා ඒ කැක්කුම තවම පපුවට වද දෙනව පුතේ,, පුංචි එකාවත් එක්කන් එන්න පුතේ මාව බලන්න…
හ්ම්ම්ම්,,, මේ ලියුමත් මං ලියපු අනිත් ලියුම් වගේම මේ කබල් මේස ලාච්චුවේ හැංගෙයි. ලියුමක් යවල මගෙ පුතගෙහිත අවුල් කරන්න මං කැමති නැහැ පුතේ. එන්න ඔයා කැමති වෙලාවක එන්න,, හැබැයි මේ අබීගේ ඇස් වැහෙන්න කලින් එන්න මගේ පොඩ්ඩො,,, මගේ දේහයට  කර දෙන්න ඔයා එනව නේද පුතේ…….
මේ ඔයාගෙ ආදරණීය අබී…
ලිපිය අතේ ගුලි කර ගත් කලීල් බිම ඇද වැටී හිස බදා ගෙන මහ හයියෙන් අඩන්නට විය. ඔහුව වත්තම් කරන්නට කිසිවෙකුටත් හැකි වුයේ නැත. ඔහුගේ කදුලු ඉරි තැලී ගිය පොළොවේ රටා මවන අයුරු සියල්ලොම බලා සිටියෙ විස්සොපයෙනි,, දේහයට  කර දෙන්නට තියා තම පියාගේ දේහය අවසන් වරට  දැක ගන්නට පව ඔහුට පිං මදි විය. දියුනුවෙ හිනි පෙත්තට නැගුනද තම පියගේ එකම සිනහවක්වත් දැක ගන්නට බැරිවීම මොනතරම් නම් පව්කාර කමක් ද? කලීල් වියරුවෙන් මෙන් තම ආදරනීය පියාණන් විසින් ලියු ලිපි එකින් එක කියවන්නට ගත්තේය, හිස කෙස් දෑතින්ම ඇද ගනිමින් ඔහු නැවත නැවතත් තමන්න්ට සාප කර ගනිමින් හඩන්නට විය,, සියල්ලම නිශ්ශබ්දව බලා සිටි අම්මර් බිදුනු සිතින් තම පියා වෙත පැමින ඔහුගේ උරහිසට අත තබා ඔහු සනසන අටියෙන් “අබී”යි ඇමතීය ගැස්සී ගිය ඔහු බියගත් දෙනෙතින් තම එකම පුතු දෙස බලා සිටියේ ඊලගට මගේ වාරය නොවෙදැයි අසන්නා සේය……

ෆාතිමා බෙසූනා

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related post