පිල්ලෑව

රතුම රතු පාටට ඉර බැහැගෙන යනවා. සැරින් සැරේ ඒ දිහාත් ඉස්සරහින් එන මිනිස්සු දිහාත් බල බලා මං දිගටම ඇවිදගෙන යනවා. කියන එක වචනයක් හරි හරියට තේරුම් ගන්න බැරි විදියට දෙපැත්තේ හිටගෙන කෑ ගහන ගෑණු මිනිස්සු දකින කොට මගේ හිතට දනෙන්නේ බයක් ද මූසල ගතියක්ද කියල තෝර ගන්න බැරුව මම බිම දිහාවට මූණ දික් කරගෙන පිල්ලෑව පංසලේ බෝධිය හොයාගෙන කොන්ක්‍රීට් ගල් අතුරපු හීනි පාර දිගේ ගාටනවා.

“අපරාදේ, හෙට සදුදා. වැඩට යන්නත් තියෙනවා. මොන කරුමෙකට මෙහේ ආවද මන්දා..” මට හිතෙනවා. චූටි කොල්ලෙක් අම්මාගේ අතේ එල්ලිලා උඩ පැන පැන ආසාවෙන් මොනවදෝ කියව කියව යන හැටි දකින මට මං ගැනම ලැජ්ජා හිතෙනවා.” නෑ නෑ. ආව එක කොච්චර හොදද.” මූනිච්චාවට වගේ මම මටම කියා ගන්නවා. තෙල් බේරෙන කොන්ක්‍රීට් පොලව උඩ යටි පතුල් විතරක් හිරිකිතේට වගේ තිය තිය මම අම්මා දීපු තෙල් බෝතලේ පත්තු වෙන පහනකටම ඔහේ වක් කරලා එනවා. චූටි කාලේ ගමේ ඉන්න කොට අම්මා අපිව අලුවිහරේ පංසලට එක්කගෙන ගිහිල්ලා ඉස්සරවෙලාම වෙහෙර ලගට එක්ක ගිය හැටි මතක් වෙලා මගේ කට කොනට ඉබේටම හිනාවක් ඇදෙනවා.

ඉක්මනට හදුන්කූරකුත් පත්තු කරලා ඊළගට මැටි කළයක් සීතලට අල්ලගෙන බෝධිය වටේ යන ගමන් පුරුද්දට වගේ උජාරුවට අලුත් ෆෝන් එක අරගෙන වෙලාව බලල ආපහු සාක්කුවට දාගන්නවා. ලස්සන කොල්ලෝ කෙල්ලෝ උපාසකයෝ වගේ බෝධිය වටේ වාඩිවෙල ඉන්නවා දැකලා මට මොකක්දෝ හිතෙනව. “මේ පංසලේ මොන උජාරුකම්ද ?” එහෙම හිතල මම තව වට දෙකක්ම ගිහින් කලබලෙන් වගේ වතුර එක කෙළවරේම තියෙන සිදුරට වක් කරලා එන්න එනවා.

“පුදුම කම්මැලිකමක්නේ. ඊළග සැරේ නම් අම්මයි තාත්තායිත් එක්ක ඇවිල්ලා හොද බෝධි පූජාවක් තියල යන්න ඕනේ.” වෙනදා විදියට ම හිතාගෙන මම හිස් ගතියකින් ආපහු සැරයක් බෝධිය දිහා හැරිලා බලලා පාර අයිනේ නවත්තලා තියෙන රතු පාට මරුටියට නැගලා ගෙදර යනවා.

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related post