අම්මා

මගේ පළමු බ්ලොග් සටහන ලියන්න ට යන්නේ ලොව උත්තරීතරම කාන්තාව ගැනය. ඇය මගේ අම්මාය. සිය පවුල ජීවිතය කරගත් ඇගේ පරාර්ථකාමීත්වය ගැන කියන්නට තරම් වදන් වලින් මම පොහොසත් නැත. කියවන ඔබත් එසේ යැයි සිතමි. කියන්න ට යන්නේ මගේ අම්මා ගැන ය. එනමුදු මේ ලොව සෑම උත්තරීතර මවකගේම කතාව යැයි මම සිතමි.

මට මගේ අම්මා ලොව හොදම අම්මාය. අම්මා මා වෙනුවෙන් කල කී දෑ, කරන දෑ මතක් වෙද්දී නෙතට කදුලක් නැගෙන්නේ නිතැතිනි. අම්මාට මම ලැබෙද්දී වයස 26කි. එදා පටන් ඇය සිය ජීවිතයම කැප කලේ මා වෙනුවෙනි. නංගී ලැබුන පසු අප දෙදෙනාම වෙනුවෙනි. මා නිසා ඇය විදි, විදින කරදර දුක් ගැහැට බොහෝය. ඇය මටත් නංගීටත් හොදින් උගන්නන්ට ගන්නා වෙහෙස අපමණය. මා කුඩා කල ඇය පාසල්, උපකාරක පන්ති රැගෙන යද්දී කෙතරම් දුක් විදින්නට ඇත්දැයි හිතෙන්නේ දැන්ය. ඇය රෝගීව සිටින විටදී පවා ඇය සිතන්නේ අප ගැනය. මම පිළිකා රෝගයෙන් පෙලෙන බවට දැනගත් දින ඇගේ මුවින් පිටවූ වදන් තවමත් මගේ හිතේ රැව්දේ…. ඇයි පුතේ ඔය ලෙඩේ මට නොහැදුනේ යන්න ඇගේ වදන් විය. අම්මා මං ගැන මෙතරම් සිතන්නේ යැයි මම එදා හොදහැටි අවබෝධ කර ගත්තෙමි. එදා පටන් මම සම්පූර්ණ සුවය ලබන තෙක් ඇය මගේ සෙවනැල්ල විය. ආලෝකය නැති විට සෙවනැල්ල ද මග හරී කියා කියමනක් තිබ්බද ආලොකය නැතත් අම්මා නම් වූ සෙවනැල්ල මාය අත්නොහරින බව මම සක් සුදක්සේ පසක් කොට ගෙන සිටිමි….

අම්මා මට උගන්නන්නට ගත් වෙහෙස අපමණ බව මම කලිනුත් කියූවෙමි. මම කුඩා කල උපකාරක පන්ති අසල නොකා නොබී ඇගේ දෙපා රිදුම් දෙනතෙක් ඇය හිටගෙන සිටින්න ට ඇත. අම්මා ඒ සියලු වේදනාවන් විදින්නේ මම වෙනුවෙනි. අම්මා මම සා.පෙළ කරන සමයේදී එකල ඉතා හිග වූ ඉංග්‍රීසි මාධ්‍ය උපකාරක පන්ති සෙවීමට මහරගම කෙතරම් ඇවිද්දාදැයි මට දැන් සිහි වේ. ඉංග්‍රීසි පන්ති යන කාලයේදී කිලෝ 3ක් 4ක් පමණ බර පොත් බෑගය ඇය බස් වල කෙරපෙමින් ඔසවාගෙන පන්නිපිටිය තෙක් පැමිණීයා ය. උසස් පෙල කාලයේ ඈ අවදි වන්නේ උදෑසන 2.30 ට 3 ට පමන ය. ඒ මගේ කෑම එක පිලියෙල කර දීමටය. මගේ උසස් පෙළ ප්‍රතිඵල සිතු පරිදි නොවූ විට ඈ පැවසුයේ පව් කොල්ලා නිදි මරං පාඩම් කරපු ටික කියා ය. ඈ මේ සියල්ල කරේ සිය පුතු රජෙක් කිරීමටය. කුඩා කල අම්මාගේ අගය මෙතරම් ගැඔුරින් මට දැනුනේ නැත. නමුත් වයසින් මුහුකුරා යත්ම අම්මා යන උතුම් ස්ත්‍රිය සිය ජීවිතය කෙතරම් අප වෙනුවෙන් කැප කොට ඇත්දැයි මට සිතේ.

මගේ අම්මා යකඩ ගැහැනියකි. ඈ දිවියේ විදි දුක් ගැහැට අපමණය. මම පිළිකා රෝගයෙන් පීඩා විදිද්දී ඒ බව මට හොදින්ම පසක් විය. මුල් දින දෙක තුනේ ඇය සොවින් සිටියත් ඉන්පසු ඇය මා ඉදිරියේ කදුලු සැලුවේ නැත. වෙනදා මෙන්ම ඇගේ රත්තරන් සිනහව මා වෙත පාමින් මා සුව කර ගැනීම සදහා ඇයට කල හැකි සියල්ල කලාය. මට කෑම රුචිය නැතිවූ විට ඇය දන්නා සියලු අයුරින් කෑම පිළියෙල කර මට බිදක් හො කැවීමට වෙහෙස වූවාය. රෝහල් කාමරයේ බෝතල් කල පානීය ජල බෝතල් අවසන් වීමට ආසන්න වන විට ඇය රෝහලේ ටැප් වතුර බී මට ඒ ඉතුරු ස්වල්පය ඉතුරු කලාය. ඈ රෝහලෙන් දෙන ඒකාකාරී කෑම එක අනුභව කොට මට රුචි ආහාර ගෙනැවිත් දුන්නාය. ඇ එසමයෙහි දිනකට නිදාගත්තානම් ඒ පැය 2ක 3ක් පමනි. මහ රෑ ද ඈ මා ගැන සෙවිල්ලෙන් සිටියා ය. නින්ද යන විට අෑ පුටුවක අසුන් ගත්තාය. අම්මා මට සැලකුවේ, සලකන්නේ එහෙමය. මගේ රත්තරන් අම්මා මට රැජිනක් වන්නේ එනිසා ය.

අම්මාගේ අගය මේසේ ඡේද 2ක 3කින් කියා ඉවර කල නොහැක. නමුත් හැකි පමණින් මෙය ලියූයේ අම්මලා මෙසේ යැයි ඔබට පසක් කර දීමට ය. වල් බිහිවී ඇති සමාජයක ගෙදරින් එලිය ට බහිද්දී අම්මා ට වැදලා කී දෙනෙක් යනවා දැයි යන්න පවා මට පැනයකි. කෙසේ හෝ වේවා සටහන අවසන් කරන්න ට කාලය පැමිණ තිබේ. මගේ රත්තරන් අම්මා ට තෙරුවන් සරණයි…

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

ravi93

Related post