ලිවීම

ලියන්නට කියු කල හැමෝම ලියති. සමහරු තනියම ලියති, සමහරු කොපි කර ලියති, තවත් සමහරු උස්සා දමති. මේ කෙසේ ලිව්වත් හැමෝගෙම අරමුණ තමාගේ views වැඩිකර ගැනීම බව නොරහසකි. එසේම යම්කිසි දර්ශනයක්, යහපත් අදහසක් සමාජගත කරන්නට ලියන අයත් සිටී. යම්කිසි ලබා ප්‍රයෝජනයක් ලබා ගැනීමේ අරමුණින්, හුදු පෞද්ගලික තරහක් පිරිමසා ගැනීමේ අරමුණින් ලියන අයත් සිටී. සමහරු රට ජාතිය ආගම වැනි වටිනාකම  ගැන ලියද්දි තවත් සමහරු යුද්ධයේ වීරත්වයක් නැතැයි ලියන්නේ ඒ නිසාය.

එසේ හරවත් දේ මෙන්ම හර සුන් දේ ලියන අයත් සිටිති.

සමහරු තමන් ගැන ලියති, සමහරු අනුන් ගැන ලියති. තවත් සමහරු තමන් ගැන නොලියා අනුන් ගැන ලියති. ඒ අයට තමන්ගේ ඇහේ පොල් පරාල ගැන ගානක්වත් නැත. නමුත් අනුන්ගේ ඇහේ පොල්කෙදි ගැන නම් පලු යන්න ලියති. මේ කෙසේ ලීවත් අන්තිමේ සමාජගත වෙන්නේ තමාගේ චිත්ත සන්තානයේ ඇතුල් පැත්ත බව බොහො දෙනා නොදන්නා කාරණයකි. එක්කෝ දැන දැනම එසේ සමාජ ගත කරති. කෙසේ වෙතත් තමාගේ චින්තනයේ උසස් හො පහත් මට්ටම ලෝකයාට මැනවින් විදහා පෑමට ලිවිම කදිම තෝතැන්නකි.

වෛර පිරිමහ ගැනීමේ අරමුණින් ද්වේශ සහගත ලිපි ලිවිම හරියට සරම උස්සා මුනුන පිහ ගැනීම වැනි වැඩකි. එය තමාගේ චිත්ත සන්තානයේ නිරුවත් බව ලෝකයාටම ප්‍රදර්ශනය කරවයි. එසේම නැති ගුණ පෙන්වමින් අනුන් උදෙසා චරිතාප්‍රදාන ලිවීමද ඊට දෙවැනි නොවන කාරණයකි. මේ කුමක් කලත් ඉන් තමාගේම චරිතය ඝාතනය වනවා හැර, තමන්ටත් අනුන්ටත් ලැබෙන දෙයක් නම් නැත.

කොපි කර ලියන අයටත් කියන්නට දෙයක් ඇත. එනම් ‘කොපි’ කල හැකි වුනත් ‘සම’ කල නොහැක යන්නයි. ‘අනුකරනයට’ වඩා ‘නවයකරණය’ වටින බවද ඒ ඒ අය සිහි තබා ගත යුතුය. කෙසේ වෙතත් “ලියන්නා කෙසේ ලීවත්, කියවන්නා සිහි නුවනින් කියවිය යුතුය” යන්න අවසන් වශයෙන් මතක් කර දීමට කැමැත්තෙමි.

(මෙය කොහෙත්ම  පිළිතුරු ලිපියක් නොවන වග සිහි තබා ගැනීම මැනවි.)

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related post