ගන බොල් පොලව
හරි හැටි නින්දක් නොලබාම රැය පහන් විය. පොල් අතු සෙවිලි කල වහලයත් වරිච්චි බිත්තියත් අතර වූ හිඩැසෙන් හිමිදිරි අව් රැල්ලක් මගේ මුහුණ මත වැටුනු නිසා මම දෑතින්ම මූණ වසා ගතිමි. හාමිනේ කලින්ම ඇහැරලාය. ඒකී අපේ පුංචි කොල්ලට කූද්දන හඬ මට ඇසේ. නිදි බර දෙනෙතින් යුතුව හෙමින් සීරුවේ පොලවට දෙපා බර දුන් මම පන් පැදුර ඔතා මැටි බිත්තියට හේත්තු කලෙමි. පුරුද්දට මෙන් ගුරුලේත්තුව ඇල කලේ දිය පිපාසාවෙන් පීඩිතව වියලී ගිය දෙතොලට සහනයක් සොයන නියාවෙනි. ගුරුලේත්තුව හිස්ය. දිය බිඳකුදු නැත. ඊයේ ගෙනා වතුර ටික අහවර උනේ ඊයේ හැන්දෑවෙ බව සිහියට ආවේ එවිටය.
කළ දෙකද දෑතින් ගත් මම කඩුල්ල පැන ඉදිරියට ඇදුනේ දිය බිඳක් සොයායන අටියෙනි. දැන් පෝය හතරකට මෙහායින් රජරට පොළවට වහි බිඳක් වැටී නැත. මහා වෘක්ශ රාජයෝ පමණක් අනුකම්පා විරහිත නියඟයේ අරුම දැනගනු වස් ඉතිරී වී ගොසිනි. ගමේ ඉස්කෝලේද වහලාය. ළමයින්ට කොයින්ද පිපාසාවට වතුර. දෙවටට ඔබ්බෙන් හරමානිස් ගොයියාගෙ ඉඩමය. හරමානිසාගෙ හරක් රංචුවද අහස දිහා බලාගෙන හූල්ලති. උන්ට කන්නට තණ පියල්ලක්වත් ඉතිරි නොකරය නියඟය නරුම වී ඇත්තේ. “ගන බොල් පොලවේ” කාශ්ටක බව වෙන කවර දාටත් වඩා වෑඩියෙන් දෙපතුලට දැනේ. මහ පොළවද චන්ඩ හිරු රැස් දරා ගත නොහී ඉරිතලා ගොසිනි. මහපොළවට දරාගන්නට බැරි ඉර අපි කොහොම උහුලන්නද? දැන් මහ ඉලුක්පල්ලම වැව් තාවුල්ල ඇස් මානයේය.
වැව් තාවුල්ලේ දිය සීරාව නිසා බේරී තිබුන ගහක කොළ කමින් සිටි ගෝනෙක් මා දැක වනයට වැදුනි. වැවටද එකම සෙතේ ය. වියලී ගිය වැවේ තැනින් තැන හෑරුනු වලවල් දිය ඇබිත්තක් ඉතිරිව තිබුනද ඒවා බීමට බැරිය. ජරා වෙලා ය. කැලේ සත්තු පණ රැක ගන්නේ ඒ දිය කඩිති වල පිහිටෙනි. රූස්ස ගස් වලින් වටකොටගත් වියලී ගිය සද්දන්ත වැවට පසුබිම් වූ නිල්ල ගැසුනු නුඹ ගැබ හිතට එක් කලේ ශාන්තිදායක හැඟීමකි.
පන්සලේ ඝණ්ඨාරය නාද වනු ඇසේ. ඝණ්ඨාරයේ හඬින් කුළු ගැන්වුනු සිත් ඇති මා දෙපා ඉක්මන්කලේ සිදුවන්නේ කුමක්ද යන්න දැන ගනු රිසිවය. පන්සලට යන පාරේ මගේ හේන පසු වේ. හේනේ මයිමට දැමූ වැටමාර දඬු අව් කාස්ටකේට පුපුරා පතුරු ගැහිලා ය. මං දරුවෙක්ට වගේ සලකපු මගෙ කොරටුව. හිත වාවා ගන්නටම නොහැකිය. සරුසාරව තිබූ හේන නියඟය විසින් නවදැලි හේනක් බවට පත් කරලා ය.
මැගිලින් අම්මා ඉක්මන් ගමනින් පන්සල දෙසට යයි. එකා දෙන්නා ගානේ සේනපුර ගම් වැස්සෝ පන්සල වෙත රොක් වෙති. පන්සල් වත්තේ ආණ්ඩුවේ බවුසර් දෙකකි. අනුරපුරේ මහ දිසාපති උන්නාන්සේ එකත්පස්ව හිඳගෙන ලොකු හාමුදුරුවෝ සමඟ ලොකු කතාවකි. බවුසරයේ කරාම කටෙන් වෑස්සෙන දියෙන් අහුරු තුන හතරක්ම එක උගුරට බිව් මා දිසාපති තෙමේ දෙසට හිස පහත් කලේ කර ලේන්සුව අතට ගනිමිනි. අයියනායක දෙයියන්ට පිං අයිති වෙනවා ය. අපේ පිපාසාවට කෙරේ දිව නෙත් හෙලුවාට. කළ දෙකම පුරවා ගත් මම මගේ පැල් කොටය බලා හනි හනිකට ගෑටුවේ අපේ හාමිනේ ඊයේ තම්බා ඉතුරු උන දෙල් බෑය ලිප තැබීමට නොඉවසිලිමත්ව බලා සිටින නිසාය.
ගිනියම් අව්වෙ විඩාව දැනුනනම් හිතෙන දේ ලියල යන්න…