මෑත කාලයේ දේශපාලනය, ලුහුඩින්…

30 වසරක් ශාපලත් කුරිරු යුද්දය නිමාවට පත් කරමින් 2009 මැයි මස 18 වනදා ශ්‍රී ලංකාව ලෝකයේ ත්‍රස්තවාදී සංවිධානයක් මුළුමනින්ම මර්දනය කල එකම රට ලෙස ලෝකප්‍රකට විය. ඒ ලැබූ ජයග්‍රහණයේ ගෞරවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවිය යුතු බව එවකට යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා (දැන් ෆීල්ඩ් මාෂල්) ඇතුළු ත්‍රිවිධ හමුදාපති වරුන්  පවසා සිටි අතර එතුමාට සුබපැතුම් විදෙස් රාජ්‍ය නයකයින්ගෙන් පමණක් නොව දෙස් විදෙස් ප්‍රභූ වරුන්ගෙන්ද ගලා ආවේය.

නමුත් යුද ජයග්‍රහණයෙන් වසරක් ගතවීමට මත්තෙන්ම ශ්‍රී ලංකාව යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් චෝදනා ලද අතර ලෝකයේ විශිෂ්ටතම යුද හමුදාව ලෙස හදුන්වනු ලැබූ ශ්‍රී ලංකා යුද හමුදාව ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් විය. එයට ප්‍රධානම හේතුව වුයේ යුද ජයග්‍රහණයේ ගෞරවයට පත්‍ර වියයුතු සුවිශේෂී පුද්ගලයින් දෙදෙනෙක් දෙපාර්ශවයට බෙදී ශ්‍රී ලංකාවේ 6 වන විධායක ජනාධිපතිවරයා තේරීමේ තරගයට පිවිසිමයි. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එවකට යුදහමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යි.

එකිනෙකා පරයා ඉදිරියට ඒමේ අරමුණින් මැතිවරණ වේදිකාවේදී දෙදෙනාගේ මුවින් කිවයුතුදේ මෙන්ම නොකිවියයුතු දේද කියවිණි. ඒ අතරින් වඩාත් කතා බහට ලක්වූ කාරණය නම් ෆොන්සේකා මහතා අතින් කියවූනු සුදුකොඩි සිද්ධියයි. එම සිද්ධිය ජාත්‍යන්තරය දක්වා ගියා පමණක් නොව ශ්‍රී ලංකාවේ රණ විරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයකට ගෙන්වීමේ සුදානමක් ගැනද සේනාධිනායකයා විදුලි පුටුවක ඉන්දවවීමේ කාරණයක් ගැනද කතාබහට ලක්විය.

සුදුකොඩි සිද්ධියෙන් පසු යුද ජයග්‍රහණයෙන් ගෞරවයට පත්‍රවූ ශ්‍රී ලංකාවේ රණවිරුවන් පිළිබද වැරදි වැටහීමක් ජාත්‍යන්තරයේ පැතිර ගිය අතර යුද ජයග්‍රහණයේ සුවිශේෂී චරිතයක් වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කිර්තිනාමයටද යම් තරමක හානියක් සිදුවිය. කෙසේ හො ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජය ලැබූ අතර ශ්‍රී ලංකාවේ 5 වන විධායක ජනාධිපතිවරයා ලෙස දෙවන වරටත් ලක්ෂ 18ක වැඩි ඡන්දයෙන් තේරීපත්වීමට තරම් වාසනාවන්ත විය.

නමුත් ජනාධිපතිවරණයෙන් පසු විරුද්ධ පක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාගේ ජීවිතය නම් එතරම් වාසනාවන්ත වුයේ නැත. යුද බිමේදී තම සේනාධි නායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව එකම මැතිවරණ වේදිකාවක තරග කිරීමේ ‘වරද’ හේතුවෙන් ඔහුට පරාජයේ වේදනාව විදදරාගැනීමට සිදුවුයේ දෙවසරක් වැලිකඩ මහා උළුගෙදර කම්බිකුරු ගණන් කිරීමෙනි. ඒ යුද හමුදා සේවයේ සිටිමින් දේශපාලනයේ යෙදීමේ වරදට හා නියමිත ක්‍රමවේදයට බාහිරව යුද උපකරණ වගයක් මිලදී ගැනීමේ චෝදනාවක් මතය.

කෙසේ හෝ ජාත්‍යන්තර යුධ අධිකරණයකට නොගිහින් දේශීය මට්ටමින් පරීක්ෂණයක් පවත්වා යුධ අපරාද චෝදනාව පිළිබද විමර්ශනය කිරීමට ජාත්‍යන්තරය එකගකරවා ගැනීමට එවකට රාජය සමත්වූ අතර තිස් වසරක යුද්ධයකින් පසුව රට සීග්‍ර සංවර්ධනයක් කරා ගෙන ඒමට මහින්ද රාජපක්ෂ ප්‍රමුක රජය සමත් විය. මානුෂීය මෙහෙයුමින් පසුව විවේකයක් ලද ත්‍රිවිද හමුදා සාමාජිකයින් සමග කොළඹ ලස්සන කිරීමේ මෙහෙයුමක් දියත් කිරීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමත් වූ අතර එය පක්ෂ විපක්ෂ කාගේත් පැසසුමට ලක් විය.

වසර 10ක පාලන කාලයකින් පසු රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද වෙනස් කරමින් තුන්වන වරටත් නැවත ජනවරමක් ඉල්ලාසිටින්නේ නිමා නොවුනු සංවර්ධනය තමා අතින්ම ඉදිරියටත් කරගෙන යාමේ අභිලාෂයෙනි. එහෙත් ඔහුගේම පක්ෂයේ හිටපු මහා ලේකම් වරයා විපක්ෂය හා සන්ධානගතව පොදු අපේක්ෂකයා ලෙස තමාට විරුද්ධව දේශපාලන වේදිකාවට පැමිණෙන්නේ රාජපක්ෂ මහතා හීනෙකින්වත් නොසිතු ලෙසය.

රාජපක්ෂ පාලන සමයේ පවතී දුෂණ හා අක්‍රමිකතා ගැන කියමින් කරලියට පැමිණෙන  මෛත්‍රීපාල සිරිසෙන මහතා බහුතර සුළු ජාතීන්ගේ ඡන්දද ඇතුළුව වැඩි ඡන්ද ලක්ෂ 4කින් ජයග්‍රහණය කරන්නේ, වසර 10ක් පවතී රාජපක්ෂ පාලන සාමය එතකින් නිමාවට පත්කරමිනි. ඒකාධිපතියෙක් යයි විපක්ෂය හංවඩු ගැසූ රාජපක්ෂ මහතා මැතිවරණ ප්‍රතිපල ප්‍රකාශවී අවසන් වන්නටත් මත්තෙන්ම තම බලතල අතහැර නැවත මැදමුලන වෙත යන්නේ ලෝකයාටද ආදර්ශයක් වෙමිනි.

කාලයයේ ඇවෑමත් සමග යටපත්ව තිබු ෆොන්සේකා මහතා ගැන මතකය වසර 5කට පසු නැවත ජනතාව අතරට පැමිණෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ 6 වන විධායක ජනාධිපතිලෙස තේරීපත්වීමත් සමගය. ඉන් අනතුරුව රාජපක්ෂ පාලන සමයේ අහිමිවූ සියලු තනතුරු හා වරප්‍රසාද ෆොන්සේකා මහතා නැවත ලද අතර තරු හතරේ සරත් ෆොන්සේකා, තරු පහේ ෆොන්සේකා විය. ෆීල්ඩ් මාෂල් යන අලුත් වචනයක්ද ජන වහරට එක්විය.

අභිනවයෙන් ජනාධිපති ධුරයට පත් මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිවරණ තම පොරොන්දු ක්‍රියාවට නංවමින් විධායක ජනාධිපති ධූරයේ බලතල අඩුකර ගන්නේ තම අත්තටු තමා විසින්ම සිදගනිමිනි. 19 වතාවක් මැතිවරණ පරාජයට පත්වී සිටි රනිල් වික්‍රමසිංහ මහතාට යහපාලන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය දුරය හිමි වන්නේද මෛත්‍රීපාල මහතාගේ ඡන්ද පොරොන්දුවකට පින්සිදු වන්නටය. දින සියයක පොරොන්දු පත්‍රයකින් බලයට පත්වන රනිල් වික්‍රමසිංහ මහතාගේ යහපාලන ආන්ඩුව මාස 6කින් විසුරුවා හරින්නේ දුන් පොරොන්දු ඉටු කරමින්ද, ඉටු කර ගැනීමට අපොහොසත් වූ බැවින්ද යන්න දන්නේ යහපලන ආණ්ඩුව බලයට පත් කරවූ ජනතාවම පමණි.

කෙසේ නමුත් මේ ලිපිය ලියන අවස්ථාව වනවිටත් හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතාත්, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් මහමැතිවරණ වේදිකාව තුල  අග්‍රාමාත්‍ය ධූරය වෙනුවෙන් වෙන වෙනම සටනක යෙදෙමින් සිටියි. ශ්‍රී ලංකාවේ 11වන අග්‍රාමාත්‍ය වරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කරනවද,  හිටපු හමුදාපති  සරත් ෆොන්සේකා මහතා පත්කරනවද, නැතහොත් දින 100 යහපාලන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාම නැවත පත් කරනවද  යන්න තීරණය කිරිම ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය බලය හිමි උගත් බුද්ධිමත් ජනතාව සතු කාරණයකි.

සැකසුම: – පැතුම් විදානගමගේ

flag2

Spread the love!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related post

If you have a Facebook account, please use the space above to reply. If not, leave a reply here: